duminda-dissanayakes-gold-t-56-case-drags-on-again

හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකින් ටී-56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව යළි නම් කිරීමට පියවර ගෙන තිබේ. ගල්කිස්ස අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඩබලන මහේස්ත්‍රාත් රවී मතුගම මහතා ඉදිරියේ මෙම නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් විය.




මෙම සිද්ධියට අදාළ විමර්ශන උධෘත මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කර තිබූ බවත්, එහිදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කර සිටි දුමින්ද දිසානායක මහතාව නිදහස් කර තිබූ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ වෙතත් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුවේ දෙවැනි සැකකරුගෙන් ලබාගත් අතිරේක ප්‍රකාශයක් පදනම් කරගනිමින්, සිව්වැනි සැකකරු ද මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේය.

මීට පෙර හෙළි වී තිබූ සාක්ෂිවලින් කියවුණේ සිව්වැනි සැකකරු අදාළ ගිනිඅවිය බැහැර කිරීමට සම්බන්ධ වූ බව වුවද, පසුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී එය ළඟ තබාගැනීම සඳහා දෙවැනි සැකකරු සහාය දී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව දුමින්ද දිසානායක මහතාව නැවත වතාවක් මෙම නඩුවේ සැකකරුවෙකු කිරීමට අධිකරණය තීරණය කළේය. නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරන බවද අධිකරණයට දැනුම් දෙනු ලැබීය.




දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් පසුගිය වසරේ ජූලි මස 29 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය විසින් තම සේවාදායකයාව නිදහස් කිරීමට පියවර ගෙන තිබූ බවයි. එබැවින් විමර්ශන අංශ ගත් මෙම නව තීරණයට එරෙහිව තමන් මහාධිකරණය හමුවේ අභියෝග කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මුදල් දෙකක් මත දුමින්ද දිසානායක මහතාව මුදාහැරීමට නියෝග කළේය. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුවන විමර්ශනවල ඉදිරි ප්‍රගති වාර්තා සලකා බැලීම සඳහා මෙම නඩුව නැවතත් එළඹෙන දෙසැම්බර් 11 වැනිදා කැඳවීමට නියමිතය.