complaint-for-bribery-from-gammanpila-against-speaker

පාර්ලිමේන්තු කතානායක ජගත් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය විසින් අද (30) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.




එම පක්ෂයේ මහ ලේකම් උපුල් ගමගේ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, කතානායකවරයාගේ දූෂිත ක්‍රියාවන්ට අදාළව ලිඛිත සාක්ෂි 10ක් ද ඊට අමුණා කොමිසම වෙත භාර දීමට පියවර ගෙන ඇත.

නිල නිවාස අවභාවිත කිරීම, නියමිත ඉන්ධන කෝටාව ඉක්මවා ලබා ගැනීම මෙන්ම රජයේ දේපළ පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම යනාදිය කතානායකවරයාට එරෙහිව නැඟී ඇති ප්‍රධාන චෝදනා අතර වේ. විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිමිවන සීමාවට අමතරව වැඩිපුර ඉන්ධන ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.




හිමිව ඇති නිල නිවසට අමතරව වෙනත් නිවසක් භාවිත කිරීම, එහි පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තබා ගැනීම සහ නිල නිවසේ පැවැති ගෘහ භාණ්ඩ හා උපකරණ පෞද්ගලික නිවස වෙත රැගෙන යාම පිළිබඳ සාක්ෂි මෙහිදී ඉදිරිපත් කර ඇති බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

මෙකී දූෂණ චෝදනා පිළිබඳව මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා විසින් ද අනාවරණය කර තිබූ නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් මාධ්‍ය මගින් වාර්තා වී නොමැති බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කරයි.



පැමිණිල්ල භාර දීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ උපුල් ගමගේ මහතා සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා එම ආයතනය ස්වාධීන එකක් බව නිතර ප්‍රකාශ කරන බවයි. රටේ තෙවන පුරවැසියා වන කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ මෙම සාක්ෂි මත පදනම්ව කොමිසම ක්‍රියා කරන ආකාරය අනුව එහි ස්වාධීනත්වය සමස්ත රටටම බලාගත හැකි වනු ඇති බවත්, මෙය ආණ්ඩුවට එරෙහි සටනක් නොව දූෂණයට එරෙහිව තමන් ගත් වගකීම් සහගත පියවරක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.