ගාල්ල මහමෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස තාවකාලිකව භාවිත කිරීමට ගෙන තිබූ තීරණය නැවත සලකා බැලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ. ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණු ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසා බලා ඇත.
මීගමුව බන්ධනාගාරයේ දැනට සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් එහි රැඳවියන් මහමෝදර සහ බෝගම්බර තාවකාලික කඳවුරුවල රඳවා තැබීමට පියවර ගෙන තිබුණද, එය කිසිසේත්ම ස්ථීර බන්ධනාගාරයක් බවට පත්කිරීමක් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, මෙම මහමෝදර රෝහල් භූමිය බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කිරීමට ගත් මුල් තීරණය නැවත විමර්ශනය කිරීමටද මෙහිදී අවධානය යොමු වී ඇත.
අනාගත ගාල්ල නගර සංවර්ධන සැලැස්මට අනුව මහමෝදර ප්‍රදේශය විශේෂ පරිපාලන කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට නියමිතය. ඒ යටතේ ගාල්ල පොලිස් ස්ථානය සහ ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 18ක් එම පරිශ්‍රය වෙත ගෙන යාමට නියමිත අතර, දැනට පවතින ගාල්ල බන්ධනාගාරය බූස්ස ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මහමෝදර පැරණි මාතෘ රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. බන්ධනාගාර ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, අදාළ පනතේ කාර්යයන් වෙනුවෙන් මෙම රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.