දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති මුහුදු කලාපයේදී තම ධීවරයින්ට ආධාර රැගෙන යමින් තිබූ යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක බලකාය විසින් ජල ප්‍රහාරයක් එල්ල කරමින් දැඩි ලෙස බාධා පමුණුවා ඇති බව පිලිපීනය චෝදනා කරයි. පසුගිය බ්‍රහස්පතින්දා දින ස්කාබරෝ ෂෝල් (Scarborough Shoal) අසලදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එය චීන සහ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙන් මැනිලා නුවර පැවැත්වීමට නියමිතව තිබූ කලාපීය ආරක්ෂක සමුළුවකට පැය කිහිපයකට පෙර සිදුවීම විශේෂත්වයකි.
පිලිපීන වෙරළාරක්ෂක බලකායට අනුව, චීන නෞකාවක් ඔවුන්ගේ 'BRP Datu Dumangsil' නමැති යාත්‍රාවට මීටර් 50ක් පමණ ආසන්නයට පැමිණ මිනිත්තු දෙකක පමණ කාලයක් ජල ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් පැය භාගයකට පමණ පසු, තවත් චීන යාත්‍රාවක් 'Datu Paiburong' නමැති පිලිපීන නෞකාවට මීටර් 500ක් පමණ දුරින් ඉතා භයානක අන්දමින් ගමන් කරමින් බාධා කර තිබේ. කෙසේ වෙතත්, මෙම කිසිදු ප්‍රහාරයකින් තම යාත්‍රාවලට හානියක් සිදුවී නොමැති බවත්, ධීවරයින්ට ඉන්ධන සැපයීමේ මෙහෙයුම අඛණ්ඩව සිදු කළ බවත් පිලිපීන බලධාරීන් තහවුරු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ජියැන්ග් ලූ (Jiang Lue) පවසා සිටියේ, පිලිපීන යාත්‍රා තම අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් චීනයට අයත් හුවාන්ග්යාන් දූපත් (Huangyan Island) කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවයි. ඒ අනුව නීත්‍යානුකූලව ඔවුන්ව නිරීක්ෂණය කර, අවහිර කර එම කලාපයෙන් නෙරපා හැරීමට අවශ්‍ය පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර නීතිමය පදනමක් නොමැති වුවද දකුණු චීන මුහුදේ බහුතරයක අයිතිය චීනය විසින් කියාපාන අතර, ස්කාබරෝ ෂෝල් ප්‍රදේශය පිලිපීනයේ ලුසෝන් දූපතේ සිට කිලෝමීටර් 240ක් දුරින් සහ ප්‍රධාන චීන භූමියේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටා ඇති මත්ස්‍ය සම්පතින් ගහන කලාපයකි.
මෙම රාජ්‍යයන් දෙක අතර පසුගිය දින හතරක කාලය තුළ වාර්තා වූ දෙවන ගැටුම මෙයයි. මීට පෙර සඳුදා දින සෙකන්ඩ් තෝමස් ෂෝල් (Second Thomas Shoal) ප්‍රදේශය අසලදීද දෙරටේ නාවිකයින් අතර ගැටුමක් හටගත් අතර, එහිදී චීන නිලධාරීන් විසින් පිලිපීන නාවිකයෙකුට මුගුරකින් පහර දී තිබුණි. මෙම තත්ත්වය මත අඟහරුවාදා දින දෙරටේම තානාපතිවරුන් කැඳවා කරුණු විමසීමට පියවර ගෙන ඇත. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ආසියාන්) ඇතුළු රටවල් රැසක සහභාගීත්වයෙන් දැනට පැවැත්වෙන සමුළුවලදී ද මෙම සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ගැටළුවට ප්‍රමුඛස්ථානයක් හිමිවී තිබේ.