ව්‍යාජ සුඛෝපභෝගී විලාසිතා භාණ්ඩ රහසිගතව අලෙවි කළ 29 හැවිරිදි සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියකට (social media influencer) ෆෙන්ඩි (Fendi), ලුවී වීටන් (Louis Vuitton) සහ ක්‍රිස්ටියන් ඩියෝර් (Christian Dior) යන ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාමයන් වෙත පවුම් 213,000 ක වන්දියක් ගෙවන ලෙස මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
එසෙක්ස් (Essex) හි පිහිටි ඩිජිටල් අලෙවිකරණ ආයතනයක් වන 'Sloane House Marketing' හි නිර්මාතෘවරිය වන ජෝර්ජියා ඕල්ඩ්‍රිජ් (Georgia Aldridge) නැමැති ඇය, ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඔස්සේ 32,000 කට අධික අනුගාමිකයින් පිරිසක් හිමිකරගෙන සිටින්නියකි. සන්නාමයන් සඳහා සිය සමාජ මාධ්‍ය සටහන් හරහා ඉහළ ලාභයක් ලබා දෙන බවට පවසමින් ඇය සිය ව්‍යාපාරය පවත්වාගෙන ගියද, ඊට සමගාමීව චීන ඔන්ලයින් වෙළෙඳපොළක් වන AliExpress හරහා ලබාගත් ව්‍යාජ විලාසිතා භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඇය විශේෂිත WhatsApp සමූහ භාවිතා කර ඇති බව අනාවරණය වී ඇත.
ඇයගේ 'Rolo Fashion Ltd' නම් සමාගම හරහා සිදුකළ වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලොව ප්‍රකට විලාසිතා සන්නාමයන් විසින් මෙලෙස නඩු පවරා තිබුණි. ඇය විසින් අලෙවි කරන ලද සමහර ව්‍යාජ භාණ්ඩ මුල් නිෂ්පාදනවලට ඉතා සමාන ලෙස සූක්ෂමව නිර්මාණය කර තිබූ බැවින් ඒවා 'සුපිරි ව්‍යාජ' (superfakes) ලෙස හැඳින්වූ බවත්, එමගින් පාරිභෝගිකයින් රැවටීමට ලක්වී මුල් සන්නාමයන්හි අලෙවියට දැඩි බලපෑමක් එල්ල වූ බවත් අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණය විය.
මෙම නඩුව විභාග කළ රිචඩ් හැකන් (Richard Hacon) විනිසුරුවරයා ප්‍රකාශ කළේ ඕල්ඩ්‍රිජ් මෙනවියගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් අදාළ සමාගම්වලට අව්‍යාජ නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථා 713 ක් පමණ අහිමි වී ඇති බවත්, ගනුදෙනු 4,000 කට අධික ප්‍රමාණයකින් ලැබීමට තිබූ බලපත්‍ර ආදායම අහිමි වී ඇති බවත්ය. සන්නාමයන්ගේ කීර්තිනාමයට සිදුවූ හානිය පිළිබඳ අදාළ සමාගම් නැගූ චෝදනාව විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළද, අහිමි වූ ලාභය සහ බලපත්‍ර ආදායම සැලකිල්ලට ගනිමින් පවුම් 213,000 ක වන්දි මුදල ගෙවීමට ඔහු විසින් නියෝග කරන ලදී.