යකඩයකින් පහරදීකුරිරු ලෙස ඝාතනය කළ මවුපිය යුවළකගේ සිරුරු ඇඹිලිපිටිය කිරැලවැල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පෙරේදා (13) රාත්‍රි සොයා ගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි.පහරදීමෙන් මියගොස් ඇත්තේ කිරැලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි වන්නි ආරච්චිගේ සරත් (58) නම්මුණි ආරච්චිගේ කාන්ති නැමැති පනස් හතර හැවිරිදි දෙදරු මව් පියවරුන් බව පොලිසිය සඳහන් කරයි.
එම ඝාතනය සිදු කළ බව කියන 25 හැවිරිදි පුතා එදිනම සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර පුතා මව්පියන් ඝාතනය සිදු වූ නිවසේ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.මෙම පියා වසර විස්සකට අධික කාලයක් යුද හමුදාවේ සේවය කරමින් සිටි විශ්‍රාම ලැබූ අයකු බවත් පුතා දැඩි ලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයකු බවද පොලිසිය පවසයි.
මෙම සැකකරුට ගංජා සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් හා මට පහර දී බරපතළ ලෙස හිසට තුවාල සිදු කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් කර සිටියදී මෙම මව්පියන් ඇප මුදල ලබාදී මුදාගෙන ඇතැයි පොලිසිය පවසයි.
එම අපරාධය සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා සිදු කළේය. ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසියේ නිලධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂා කරන ඒකකයේ පොලිස් නිලධාරීන් පැමිණ එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු පවත්වනු ලැබීය.
ඝාතනය කර තිබෙන දෙදෙනාගේ සිරුරු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් එහි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කර එහි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ඉදිරි දිනෙක ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේය.එම නියෝගය අනුව පොලිස් නිලධාරීන් විසින් එම සිරුරු ඇඹිලිපිටිය රෝහල වෙත රැගෙන යනු ලැබීය.ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ.එම්. බණ්ඩාර මහතාගේ උපදෙස් අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
