
නිවාස සාදා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ බව කියන නුගේගොඩ ප්‍රදේශයේ ආයතනයක පුද්ගලයකු ඉකුත් 8 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රාගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුට එරෙහිව මේ වන විටත් පොලිසිය වෙත පැමිණිලි 10 ක් ලැබී ඇතැයි වාර්තා වේ.
සැකකරු විසින් නිවාස ඉදිකිරීමේ පොරොන්දුව මත එක් අයෙකුගෙන් රුපියල් විසිදහස, තිස්දහස බැගින් මෙලෙස මුදල් ලබාගෙන වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව තවත් පුද්ගලයෙකු හා එක්ව සිදුකර ඇති අතර, ඊට සම්බන්ධ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම වංචාවට හසුවූ තවත් වින්දිතයන් සිටී නම් ඒ පිළිබඳව වහාම මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන ලෙස හෝ 011-2852556 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. ඒ අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන සඳරුවන් (94956) සහ නදීරංග (102980) යන නිලධාරීහු මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ මෙහෙයවති.