
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ප්‍රධාන පද්ධති ඒකාබද්ධ කරන්නා ලෙස කටයුතු කිරීමට තාක්ෂණික සුදුසුකම් ලබා ඇති ඉන්දීය සමාගම් ඉදිරිපත් කර ඇති මිල ගණන්, ඉන්දීය රජය මෙරටට ලබා දී ඇති ප්‍රදාන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සහාය ඇතිව දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1050 ක මුදලක් ප්‍රදානයක් වශයෙන් හිමිව තිබුණද, ලංසුකරුවන් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුගත මුදල් ඊට වඩා විශාල ලෙස ඉහළ අගයක් ගන්නා බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පැන නැගී ඇති මෙම මූල්‍යමය ගැටලුව පිළිබඳව සාකච්ඡා කර විසඳුමකට එළඹීම සඳහා මෙරට බලධාරීන් විසින් ඉන්දීය බලධාරීන් සමග විශේෂ රැස්වීමක් ද ඉල්ලා තිබේ.මෙම ඩිජිටල් ව්‍යාපෘතිය සඳහා එක්වීමට ඉන්දීය සමාගම් පහක් තාක්ෂණික ඇගයීම් අදියරෙන් සමත්ව ඇති අතර, එම සමාගම් අතුරින් ඉදිරිපත්ව ඇති අවම ලංසුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 2460 ක් තරම් ඉහළ අගයක් ගනී. මෙම තත්ත්වය තහවුරු කරන ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වී ඇති මිල ගණන් අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බවයි. ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඉන්දීය රජයෙන් රැස්වීමක් ඉල්ලා ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, තාක්ෂණික මෙන්ම වාණිජමය අංශයන් ද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් වන වඩාත්ම සුදුසු සහ හොඳම යෝජනාව රජය විසින් පිළිගනු ඇතැයි ද අවධාරණය කළේය.
මේ අතර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක හාන්ස් විජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට ප්‍රතිපාදන පවතින බවයි. ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වන මිල ගණන් ඉන්දීය රජය ලබා දුන් ප්‍රදාන මුදල ඉක්මවා යන්නේ නම්, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට අදාළ ගිවිසුම මගින් අවස්ථාව සලසා දී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.