the-boralasgamuwa-disturbance-is-because-of-a-disciple-of-jack-malli

බොරලැස්ගමුව, ඕ. පී.පෙරේරා මාවතේ පිහිටි නිවසකට කඩා වැදී තියුණු ආයුධවලින් පහරදී පලායමින් සිටි සන්නද්ධ පිරිසක් අඩස්සියට ගැනීමට යාමේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'කොස් මල්ලි' නමැත්තාගේ අනුගාමිකයකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී අදාළ ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද හටගෙන තිබුණි.




ඊයේ (19) අලුයම 1.30 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් එකී නිවසේ තද නින්දේ පසුවූ පිරිසට සහ දේපළවලට තියුණු ආයුධවලින් දැඩි ලෙස හානි පමුණුවා ඇත. අදාළ පහරදීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට ලත් තොරතුරකට අනුව, සැකකරුවන් පිළියන්දල දෙසට පලායන බව දැනගැනීමෙන් පසු නිලධාරීන් එම මාර්ගයේ රැකවලේ නිරත විය. එහිදී ඉදිරියට පැමිණි යතුරුපැදියක් ආපසු හැරවීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී එහි පැදිකරු විසින් පොලිස් නිලධාරියෙකු හප්පා අනතුරට ලක්කර තිබේ. පසුව පසුපැදිකරු තියුණු ආයුධයකින් පහරදීමට තැත් කිරීමත් සමග ක්‍රියාත්මක වූ නිලධාරියෙකු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා යතුරුපැදියෙන් ඇදවැටී ඇත.

එම අවස්ථාවේදී යතුරුපැදිය පැදවූ සැකකරු වෙඩි ප්‍රහාරය මැද්දේ පලාගොස් ඇති අතර, පසුව අදාළ යතුරුපැදිය පිළියන්දල, කොස්කනත්ත පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිවිය. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 24 හැවිරිදි තරුණියක, අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ සැකකරු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව සහ පිළියන්දල පොලිස් ස්ථාන මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.