නාගරික ප්‍රදේශයන්හි පවතින දැඩි රථවාහන තදබදය හමුවේ අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් ප්‍රමාද වීම වැළැක්වීම සඳහා 1990 සුව සැරිය පදනම මගින් යතුරුපැදි පදනම් කරගත් විශේෂ හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ගිලන්රථ ගමනාගමනයට බාධා එල්ල වන අවස්ථාවලදී රෝගීන් වෙත කඩිනමින් ළඟා වී මූලික ප්‍රතිකාර ආරම්භ කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් වාර්තා වූ මොහොතේ සිට සුව සැරිය ගිලන්රථයක් එම ස්ථානයට පැමිණෙන තෙක් ගතවන තීරණාත්මක කාල පරතරය අවම කිරීම වෙනුවෙන් මෙම සේවාව සැලසුම් කර ඇත. ඒ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහ හදිසි ප්‍රතිචාර දක්වන්නන් යෙදවීමට නියමිත අතර, ඔවුන් අත්‍යවශ්‍ය ඖෂධ සහ හදිසි වෛද්‍ය උපකරණවලින් සන්නද්ධ යතුරුපැදි භාවිත කරනු ලබයි. මෙම වසර අවසන් වීමට ප්‍රථම නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට අපේක්ෂිත මෙම සේවාව යටතේ, රථවාහන තදබදය අධික කොළඹ ඇතුළු ප්‍රධාන ජනාකීර්ණ නාගරික ප්‍රදේශයන් වෙත මුලින්ම ප්‍රමුඛතාව හිමිවේ.
සුව සැරිය ගිලන්රථයක් අදාළ ස්ථානයට ළඟා වන තෙක් රෝගීන්ට අවශ්‍ය මූලික වෛද්‍ය සේවා හා ප්‍රථමාධාර ලබාදීමත්, ගිලන්රථවලට ළඟා වීමට අපහසු මාර්ගයන්හි සිටින රෝගීන් වෙත ඉක්මනින් ළඟා වීමත් මේ හරහා සිදු කෙරේ. මේ අතර දිවයින පුරා පවතින සුව සැරිය ගිලන්රථ සංඛ්‍යාව ඉහළ නැංවීමටද පියවර ගනිමින් සිටී. ඉන්දීය රජයේ සහාය ඇතිව 2016 ජූලි 28 වන දින ආරම්භ කරන ලද මෙම නොමිලේ සැපයෙන ගිලන්රථ සේවාව පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ආරම්භයේ සිටම හදිසි හා ආපදා අවස්ථාවලදී රෝහල් පූර්ව සත්කාර සැපයීමට මෙන්ම රෝගීන් ප්‍රවාහනයටද ඉටු කළ විශාල මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින් සුව සැරිය පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට මෙම නව යතුරුපැදි සේවාව සමත් වනු ඇත.