
අලුත්ගම, මොරගල්ල සංචාරක කලාපයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමේ නිරතව සිටි 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කිසිදු නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් නොමැතිව වසර හතක පමණ කාලයක් තිස්සේ ඔහු මෙලෙස මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිට ඇති බව අනාවරණය වී ඇත.
පසුගිය 23 වන දින සිදුකළ මෙම වැටලීමේදී සැකකාර විදේශිකයා සතුව තිබී ගංජා ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඔහු 2019 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිට ඇති බවයි.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සංජීව මහතා සඳහන් කළේ සැකකරු අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයා ගැනීමේ කටයුතුවල නිරත වූ බවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන බවයි. මෙයට අමතරව වැටලීම අතරතුරදී සැකකාර රුසියානු ජාතිකයා භාවිතා කළ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණක දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ මෙම විදේශිකයා 24 වන දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.