පසුගිය දශක කිහිපය පුරා යුරෝපීය අධ්‍යාපනයේ පෙරගමන්කරුවෙකු ලෙස සැලකෙන ෆින්ලන්තය, මේ වන විට සිය පෙරපාසල් ක්ෂේත්‍රය සඳහා ස්පාඤ්ඤ ගුරුවරියන් බඳවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ස්පාඤ්ඤයේ පෙරපාසල් ගුරුවරුන් සිය සේවා කොන්දේසිවලට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වැඩවර්ජනවල නිරත වෙමින් සිටින පසුබිමක, ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර නගර සභාව විසින් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර ඇත.
ඒ අනුව එහි පැමිණෙන ගුරුවරුන් සඳහා ස්ථිර සේවා ගිවිසුම්, යුරෝ 3,200ක මාසික දළ වැටුපක්, සංස්කෘතික, ක්‍රීඩා සහ සුබසාධන කටයුතු වෙනුවෙන් යුරෝ 550ක අතිරේක මාසික දීමනාවක් මෙන්ම ආපනශාලා සහන සහ සාධාරණ මිලකට නිවාස පහසුකම් ද පිරිනැමේ. හෙල්සින්කි නගර සභාව එරට ප්‍රධානතම නිවාස හිමිකරුවා වන බැවින් මැඩ්රිඩ්, ඩබ්ලින් හෝ ඇම්ස්ටර්ඩෑම් වැනි නගරවල පවතින දැඩි නිවාස අර්බුදය මෙහි නොමැති අතර, තරුණ ගුරුවරයෙකුට නගර මධ්‍යයෙන් යුරෝ 700ත් 800ත් අතර මුදලකට නිවසක් ලබාගත හැකි බව එම වැඩසටහනේ ප්‍රකාශක මාරියස් නයිට් සඳහන් කරයි.එහි සේවය කරන ස්පාඤ්ඤ ගුරුවරුන් වඩාත්ම පුදුමයට පත් කර ඇත්තේ එරට පන්ති කාමර තුළ පවතින උසස් සේවා පරිසරයයි. පසුගිය ජනවාරි මාසයේදී බිල්බාඕ නගරයේ සිට හෙල්සින්කි වෙත පැමිණි 26 හැවිරිදි මිරාරි චැමොරෝ පවසන්නේ තමා සේවය කරන රජයේ පෙරපාසලේ සෑම පන්තියකම දරුවන් 14 දෙනෙකු සඳහා ගුරුවරුන් තිදෙනෙකු බැගින් සිටින බවයි. එහි එක් ප්‍රධාන ගුරුවරියක් සහ සහායකයින් දෙදෙනෙකු සිටියද ඔවුන් අතර කිසිදු නිලධාරිවාදී හෝ තත්ත්ව පරතරයක් නොමැතිව ඉතා සුහදශීලීව කටයුතු කරන බව ඇය පවසයි. තවද, ඇයගේ පන්තියේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් දෙදෙනෙකු සිටින බැවින්, ඒ සඳහා විශේෂ අධ්‍යාපන ගුරුවරියකගේ සහ සමාජ සේවා නිලධාරියෙකුගේ සහාය ද හිමි වේ. ඇතැම් අවස්ථාවලදී පන්තිය තුළ ගුරුවරුන් පස්දෙනෙකු දක්වා සිටින බැවින් ස්පාඤ්ඤයට වඩා ඉතා ගුණාත්මක සහ පුද්ගලික අවධානයක් දරුවන්ට ලබා දීමටත්, සැලසුම් සහගතව ඉගැන්වීම් කටයුතු කිරීමටත් හැකි වී තිබේ.
මිලියන 5.6ක ජනගහනයක් වෙසෙන ෆින්ලන්තයට එරට පවතින ඉහළ අධ්‍යාපන ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය ගුරුවරුන් ප්‍රමාණවත් නොවන බව බලධාරීහු පිළිගනිති. ඒ අනුව, ලක්ෂ හතකට ආසන්න ජනගහනයක් වෙසෙන හෙල්සින්කි නගරයේ පමණක් 2030 වසර වන විට පෙරපාසල් ගුරුවරුන් 6,000ක හිඟයක් ඇතිවිය හැකි බවට ගණන් බලා ඇත. මෙම බඳවා ගැනීම් සඳහා ස්පාඤ්ඤය තෝරා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ, ස්පාඤ්ඤ විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපන විෂය මාලාවන් නිසා එරට ගුරුවරුන්ට ෆින්ලන්තයේ ඉගැන්වීම සඳහා අමතර අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය නොවීමයි. ප්‍රංශය හෝ ජර්මනිය වැනි රටවලින් පැමිණෙන ගුරුවරුන්ට ෆින්ලන්තයේ සේවය කිරීමට නම් තවත් අමතර අධ්‍යාපන ඒකක සම්පූර්ණ කිරීමට සිදුවේ.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ස්පාඤ්ඤ ක්‍රමයට වඩා පැහැදිලි වෙනස්කම් කිහිපයක් පෙන්වයි. ෆින්ලන්තයේ පෙරපාසල් අධ්‍යාපනය වයස අවුරුදු 0 සිට 6 දක්වා තනි ඒකාබද්ධ අදියරක් ලෙස ක්‍රියාත්මක වන අතර, ස්පාඤ්ඤයේ එය වයස 0-3 සහ 3-6 ලෙස අදියර දෙකකට සහ විවිධ ආයතන මගින් පාලනය වේ. ස්පාඤ්ඤයේ පෞද්ගලික අංශයේ පෙරපාසල් ගුරුවරියකගේ මාසික වැටුප යුරෝ 1,200ක අවම මට්ටමක පවතින අතර, රජයේ අංශයේද එයට වඩා වැඩි වෙනසක් නොමැත. උසස් විශ්වවිද්‍යාල උපාධි තිබුණද ස්පාඤ්ඤයේ බොහෝ ගුරුවරුන් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින අතර, හෙල්සින්කි නගර සභාව අපේක්ෂා කරන්නේද එවැනි උසස් විශ්වවිද්‍යාල උපාධි සහිත ස්පාඤ්ඤ ගුරුවරුන්ය.
මෙහි සේවය කිරීමට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ෆින්ලන්ත භාෂාව ඉගෙනීමයි. ඉන්දු-යුරෝපීය භාෂාවලට වඩා වෙනස් වූ යුරාලික් භාෂා පවුලට අයත් මෙම භාෂාව ඉගෙනීම තරමක් අපහසු වුවද, හෙල්සින්කි නගර සභාව විසින් ගුරුවරුන්ට එරටට පැමිණීමට පෙර B1 මට්ටම දක්වා නොමිලේ දැඩි භාෂා පාඨමාලා පවත්වනු ලබයි. සේවය කරන අතරතුර ඔවුන් B2 මට්ටම දක්වා සිය භාෂා දැනුම වර්ධනය කරගත යුතුය. මෙම භාෂාව ප්‍රගුණ කිරීම සඳහා විශාල කැපවීමක් සහ කාලයක් අවශ්‍ය වන නමුත් ස්පාඤ්ඤ ගුරුවරුන් ඉතා හොඳ පුහුණුවක් ලැබූ, ඉහළ අභිප්‍රේරණයකින් යුත් පිරිසක් බව පැයිවකොටි වීකෝ රජයේ පෙරපාසලේ විදුහල්පතිනි පමෙලා වැල්ටොනන් පවසන්නීය.
ටොලෙඩෝ නගරයේ සිට පැමිණි 25 හැවිරිදි ඇල්වාරෝ පෙරාලෙස් නමැති තරුණ ගුරුවරයා පවසන්නේ යහපත් සේවා කොන්දේසි සහ නිවාස පහසුකම් මෙන්ම ෆින්ලන්ත අධ්‍යාපනයේ ඇති කීර්තිනාමය නිසා තමා මෙහි පැමිණි බවයි. කෙසේ වෙතත්, භාෂාවට අමතරව එරට පවතින සූර්යාලෝකය ලැබෙන කාලසීමාවේ වෙනස්වීම් සහ මිනිසුන්ගේ සංස්කෘතික හැසිරීම්වලට හැඩගැසීම තමාට අපහසු වූ බව ඔහු පවසයි. ඔහු පැමිණි මුල් කාලයේ උදෑසන 9ට පායා සවස 3ට ඉර බැස ගියද, දැන් අලුයම 3 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සූර්යාලෝකය පවතී. එමෙන්ම, ෆින්ලන්ත වැසියන් අන් අයට බාධා නොකිරීමේ අරමුණින් කාමරයකට ඇතුළු වන විට ආචාර නොකරන ස්වභාවයක් පෙන්වන අතර, එය ස්පාඤ්ඤ සංස්කෘතියට හුරු වූවන්ට තරමක පුදුමයක් උපදවන්නකි.
මෙම අත්දැකීම් මධ්‍යයේ වුවද, යම් යම් කොන්දේසි යටතේ ස්ථිරවම ෆින්ලන්තයේ පදිංචි වීමට තමා කැමති බව පෙරාලෙස් පවසන නමුත්, මිරාරි චැමොරෝ පවසන්නේ එරට පවතින දීර්ඝ ශීත කාලය දරාගත නොහැකි බැවින් තමා නැවත ස්පාඤ්ඤයේ සිය ගම්පියස බලා යන බවයි. කෙසේ වෙතත්, මෙම වෘත්තීය අත්දැකීම තමාට විශාල ශක්තියක් වූ බවත්, වැස්ස හෝ හිම පතනය නොතකා සතියකට වරක්වත් දරුවන් ස්වභාවික පරිසරයට හෝ පුස්තකාලවලට රැගෙන යාම සහ දරුවන්ගේ රිද්මයට අනුව කලබලයකින් තොරව ඉගැන්වීම වැනි ෆින්ලන්තයේ පවතින යහපත් සිරිත් විරිත් නැවත සිය රටේදී ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන බවත් ඇය ප්‍රකාශ කරයි.