රුසියානු රජය ඔන්ලිෆෑන්ස් වැනි වැඩිහිටි අන්තර්ගතයන් සහිත වෙබ් අඩවිවල නිර්මාණකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇති අතර, එහි ප්‍රධාන ඉලක්කයක් බවට එරට ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ඩයනා ෂුරිගිනා පත්ව ඇත. මොස්කව් අධිකරණයක නියෝගය පරිදි ඇය මේ වන විට නිවාස අඩස්සියට පත් කර ඇති අතර, ඇයට එරෙහිව සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස කාමුක ද්‍රව්‍ය බෙදා හැරීමේ චෝදනා එල්ල වී තිබේ.
මෙම වරද ඔප්පු වුවහොත් ඇයට වසර දෙකක සිට හයක දක්වා සිරදඬුවමක් සහ රූබල් 600,000 ක දඩ මුදලක් නියම වීමට ඉඩ ඇත. ක්‍රෙම්ලිනයට හිතවත් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය අදාළ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කරන ලද වීඩියෝ සහ ඡායාරූප සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.මෙම මර්දනය ෂුරිගිනාට පමණක් සීමා නොවන අතර, රුසියානු ආරක්ෂක අංශවලට සම්බන්ධ ටෙලිග්‍රෑම් නාලිකා පවසන්නේ OnlyFans ඇතුළු අනෙකුත් වැඩිහිටි වෙබ් අඩවිවල අන්තර්ගතයන් නිර්මාණය කරන තවත් පිරිසක් ඉලක්ක කර ගනිමින් පුළුල් පරීක්ෂණ සූදානම් වෙමින් පවතින බවයි. එක් ප්‍රධාන වෙබ් අඩවියක පරිශීලකයන් මිලියන 340 කගේ දත්ත ඇතුළත් ලේඛනයක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බැවින්, එහි නිර්මාණකරුවන් සහ දායකයන් පහසුවෙන් හඳුනා ගැනීමට රජයට හැකියාව ලැබී ඇත. ෂුරිගිනාට අමතරව, ඇය සමඟ ලිංගික දර්ශන සහිත වීඩියෝ පටිගත කළ ඇනස්ටේෂියා ඕව්ස්යානිකෝවා නමැති නිළිය සහ වැඩිහිටි අන්තර්ගතයන් නිෂ්පාදනය කරන ලුඩ්විග් ක්‍රිච්කර් ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බාලි දූපත් බලා පලා යාමට සූදානමින් සිටි බවත්, එහිදී තවත් කාන්තාවන් සොයාගෙන නව වීඩියෝ නිර්මාණය කිරීමට ඇය සැලසුම් කර තිබූ බවත් ආරක්ෂක අංශ පවසයි. කෙසේ වෙතත්, යුක්‍රේනියානු වැඩිහිටි චිත්‍රපට නිෂ්පාදකයන් පිරිසක් විසින් බාලි දූපතෙන් සුඛෝපභෝගී නිවසක් ලබා දෙන බවට පොරොන්දු වී ඇයව රවටා මෙම වීඩියෝ පටිගත කිරීමට පොළඹවා ඇති බව ද අනාවරණය වී ඇත. මීට අමතරව, රුසියාව තුළ සමලිංගික සබඳතා ප්‍රචාරය කිරීම තහනම් කර ඇති අතර "LGTBIQ+" ව්‍යාපාරය අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මේ හේතුවෙන් අත්අඩංගුවට ගත් තිදෙනාට එරෙහිව "අන්තවාදී ප්‍රචාරණය" යටතේ තවත් නඩු පැවරීමේ හැකියාවක් පවතී.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රධානතම තේමාවක් වන්නේ සාම්ප්‍රදායික සදාචාරාත්මක අගයන් ආරක්ෂා කිරීම බවයි. බටහිර සංස්කෘතියට වඩා රුසියාව වෙනස් බව පෙන්වීමට ක්‍රෙම්ලිනය මෙම සාම්ප්‍රදායික සදාචාරය දේශපාලන උපායමාර්ගයක් ලෙස භාවිත කරයි. එහෙත්, පුටින්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකාවක වන 't.A.T.u' සංගීත කණ්ඩායමේ හිටපු ගායිකා යුලියා වොල්කෝවා වැනි පුද්ගලයන් මීට පෙර සමලිංගික සබඳතා නිරූපණය කරමින් ප්‍රසිද්ධියට පත් වූවන්ය. එම නීති තමන්ට අදාළ නොවන බවත් තමන් කලාකාරිනියක බවත් ඇය පවසා ඇත.
ඩයනා ෂුරිගිනා මුලින්ම රුසියාව තුළ මහත් ආන්දෝලනයකට ලක් වූයේ 2017 වසරේදී, ඇය 16 හැවිරිදි වියේදී සාදයකදී දූෂණයට ලක් වූ බව රූපවාහිනී වැඩසටහනකදී හෙළි කිරීමත් සමඟය. එම සිදුවීමත් සමඟ රුසියානු සමාජය ඇයට පක්ෂ සහ විපක්ෂ වශයෙන් බෙදී ගිය අතර, පසුව ඇගේ පවුලට පවා පදිංචිය වෙනස් කිරීමට සිදු විය. ඉන්පසු ඇය ඉන්ස්ටග්‍රෑම් හරහා ජනප්‍රිය වීමට උත්සාහ කළ අතර, කෙටි විවාහ ජීවිතයක්, ධනවත් බ්ලොගර්වරයෙකු සමඟ පැවැත්වූ සබඳතාවක්, විදේශයන්හි පදිංචි වීම සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන සායනවල ප්‍රතිකාර ලැබීමෙන් පසු 2021 වසරේදී ඇය OnlyFans ගිණුමක් ආරම්භ කළාය. ඇයව දූෂණය කළ පුද්ගලයා වසර අටක සිරදඬුවමකින් වසරකට මඳක් වැඩි කාලයක් ගෙවීමෙන් පසු 2018 දී නිදහස් කර තිබිණි.