කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කරමින්, සංවිධානාත්මක කණ්ඩායම් වෙත ව්‍යාජ ඔප්පු නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම සාහසික ක්‍රියාවලියේ ප්‍රධාන සැකකාරිය ලෙස කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය හඳුනාගෙන ඇති අතර, ඇයව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
හිස්ව පවතින ඉඩම් සහ නිවාස බලහත්කාරයෙන් අත්පත් කරගනිමින්, ඒවායින් ඉවත් වීම සඳහා සැබෑ අයිතිකරුවන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා සංවිධානාත්මක කල්ලි පිළිබඳව ද මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී, එම කාර්යාලයේ ලේඛනගත කර ඇති ඔප්පු සහ ලියකියවිලිවල අනුපිටපත් බාහිර පුද්ගලයින් වෙත ලබා දී ඇති බවයි. මේ හරහා ඇය නීත්‍යානුකූල හිමිකරුවන්ගේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කරමින් සංවිධානාත්මක අපරාධවලට ආධාර අනුබල දී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එම ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත විකිණීමට පවා කටයුතු කර තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගනිමින් ඉඩම් හෝ දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගන්නා අපරාධ කල්ලි, එහි සැබෑ අයිතිකරුවන් පැමිණ ප්‍රශ්න කරන විට ඔවුන් බියගන්වා කප්පම් ඉල්ලා සිටියි. ඔවුන් එම පරිශ්‍රයන්ගෙන් ඉවත් වන්නේ අතිවිශාල මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීමෙන් පසුව පමණි. මෙම ජාවාරම ඉතා ඉහළ මට්ටමකින් සංවිධානය වී ඇති අතර, ඊට නීතිඥවරුන් සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සම්බන්ධ වී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කේ.කේ. රුවනි නාලිකා නමැති මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත. එසේම ඇයට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවා තිබේ. අත්අඩංගුවට පත් මෙම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල සේවිකාවට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ) සහ 158 වගන්ති මෙන්ම, පොදු දේපළ පනත යටතේ ද වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.