ban-masha-and-the-bear-in-uk---mps-demand

කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රිය රුසියානු කාටූන් වැඩසටහනක් වන 'Masha and the Bear' (මාෂා සහ වලහා) බ්‍රිතාන්‍යය තුළ විකාශනය වීම නතර කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලා සිටිති. කුඩා දැරියක් සහ විශ්‍රාමික සර්කස් වලසෙකු වටා ගෙතී ඇති මෙම කතාමාලාව හරහා රුසියාව සිය මෘදු ප්‍රචාරණ කටයුතු (soft propaganda) ඉතා සූක්ෂම ලෙස සිදු කරන බවට ඔවුහු චෝදනා කරති.




ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ගෝර්ඩන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය සංස්කෘතික ලේකම් ලීසා නන්දි වෙත ලිපියක් යොමු කරමින් මේ සඳහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ඇත. මෙම කාටූනය තුළ අන්තර්ගත වන ප්‍රචාරණාත්මක කරුණු කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවත්, එක් කථාංගයක මාෂා සෝවියට් යුගයේ නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටීම ඊට කදිම උදාහරණයක් බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

යූ ටියුබ් (YouTube) ජාලය තුළ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ කාටූන් වැඩසටහන් අතරට අයත් වන මෙහි එක් කථාංගයක් පමණක් බිලියන 4.6 කට වැඩි වාර ගණනක් නරඹා තිබේ. මෑතකදී නෙට්ෆ්ලික්ස් (Netflix) සහ අයි.ටී.වී (ITV) නාලිකාවේ ඩිජිටල් වේදිකාව වන අයි.ටී.වී.එක්ස් (ITVX) හරහා ද මෙම කතාමාලාව යළිත් විකාශනය කිරීම ආරම්භ කර ඇති අතර, මෙවැනි ප්‍රබල ගෝලීය සහ දේශීය මාධ්‍ය වේදිකා හරහා බ්‍රිතාන්‍ය දරුවන් වෙත මෙම අන්තර්ගතයන් ළඟාවීම කිසිසේත් පිළිගත නොහැකි බවත්, ඊට එරෙහිව රජය වහාම ක්‍රියාත්මක විය යුතු බවත් මන්ත්‍රීවරු අවධාරණය කරති.




මෙම කතාමාලාව රුසියානු 'මෘදු බලයේ' (soft power) මෙවලමක් ලෙස යුක්රේන රජයේ පිටුබලය ලබන ආයතනයක් සහ එස්තෝනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ද මීට පෙර දැඩි ලෙස විවේචනය කර තිබුණි. යුක්රේනයේ සාවද්‍ය තොරතුරු මැඩලීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, අනෙකුත් ජාතීන්ගේ සම්ප්‍රදායන් සමච්චලයට ලක් කිරීම සහ සෝවියට් සංකේත මෙන්ම මිලිටරිවාදී තේමාවන් සාමාන්‍යකරණය කිරීමක් මෙම කාටූනය හරහා සිදුවන බවයි.

කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන 'Masha and the Bear' හි නිර්මාපකයන් වන රුසියානු ඇනිමේෂන් ස්ටූඩියෝවක් වන Animaccord ආයතනය පවසන්නේ, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් බවයි. සිය නිර්මාණයේ කිසිදු දේශපාලන පණිවිඩයක් අන්තර්ගත නොවන බවත්, ඊට එරෙහිව නැගෙන චෝදනා කිසිදු පදනමකින් තොර බවත් එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම බ්‍රිතාන්‍ය සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව මෙන්ම අයි.ටී.වී (ITV) ආයතනය ද ප්‍රතික්ෂේප කර ඇති අතර, නෙට්ෆ්ලික්ස් ආයතනයෙන් ද මේ පිළිබඳව විමසීම් කර ඇත.