මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය, දරුණු සතුරු ප්‍රහාර මධ්‍යයේ සිය ජීවිත අවදානම නොතකා සාමසාධක භටයන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසය අලුතින් ලියමින්, හදිසි මෙහෙයුමකදී මෙතරම් තුවාලකරුවන් පිරිසක් එකවර මුදාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත්වලට එක්වන බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලාංකික භට පිරිස් දැක්වූ මෙම අසමසම වීරත්වය එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ (Force Commander) ඉහළම ප්‍රශංසාවට ලක්ව ඇති අතර, එමඟින් ශ්‍රී ලංකා සන්නද්ධ බලකායන් සතු ජාත්‍යන්තර විශ්වසනීයත්වය සහ කීර්තිනාමය තවදුරටත් ඉහළ ගොස් ඇත.මෙම සුවිශේෂී සිදුවීමට මුල් වී ඇත්තේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 'Am dafok' කලාපයේ මුරසංචාරයක යෙදී සිටි සැම්බියානු සාමසාධක බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාරයකි. ඉකුත් 30 වැනිදා සිදුවූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් සැම්බියානු සෙබළුන්, ප්‍රදේශයේ සිවිල් වැසියන් මෙන්ම එරට ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් බරපතළ ලෙස තුවාල ලබා තිබේ.
තත්ත්වය අතිශය බරපතළ වෙද්දී, තුවාල ලැබූවන් මුදාගැනීම සඳහා ප්‍රථමයෙන් පාකිස්තාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාකිස්තාන බලකාය එම අභියෝගාත්මක මෙහෙයුම ප්‍රතික්ෂේප කිරීම හෝ එය අසාර්ථක වීම නිසා, සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා විසින් මෙම භද්‍රක ජීවිත ගලවාගැනීමේ වගකීම වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය වෙත පවරන ලදී.
පවතින දැඩි අවදානම සහ අයහපත් කාලගුණය මැනවින් වටහාගත් ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය කිසිදු පැකිලීමකින් තොරව මෙහෙයුම සඳහා සූදානම් විය. ඒ අනුව, ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු මහතාගේ මෙහෙයවීමෙන් යුත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07.30 ට බ්‍රියා (Bria) ගුවන් තොටුපොළෙන් ගුවන්ගත කෙරිණි.
මෙම අභීත කාර්ය මණ්ඩලයට ගුවන් ඉංජිනේරු ලෙස බලපන්ති සැරයන් හෙට්ටිආරච්චි, ලෝඩ් මාස්ටර් ලෙස බලපන්ති සැරයන් මනෝජ් සහ ගුවන් අවිකරුවන් ලෙස කෝප්‍රල් විජේතුංග සහ නායක ගුවන් භට අබේසිංහ යන අය සම්බන්ධ වූහ. එසේම යානය තුළ සිටි ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායමට (AMET) ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්... යාදීෂ රත්නසිරි, බලලත් නිලධාරි... සුමතිපාල සහ බලපන්ති සැරයන් රුවන්කුමාර යන මහත්වරු ඇතුළත් වූහ. මුලින් අතිරේක භට පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබුණද, සටන් කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම නිසා, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝග පරිදි සෘජුවම සටන් බිම වෙත පියාසර කිරීමට නියමුවෝ තීරණය කළහ.
පැය දෙකයි විනාඩි දහයක අඛණ්ඩ සහ වෙහෙසකර පියාසර කාලයකින් පසු යානය සතුරු ප්‍රහාර එල්ල වෙමින් පැවති අතිශය අනතුරුදායක සටන් කලාපයට ළඟා විය. හෙලිකොප්ටර් යානය පොළොවට බෑම පවා දැඩි අනාරක්ෂිත තත්ත්වයක පැවති අතර සතුරන් ප්‍රහාර එල්ල කරන්නේ කොතැන සිටද යන්න පවා අවිනිශ්චිතව පැවතිණි. එහෙත්, සිය ජීවිත අවදානම පසෙක ලූ ලාංකික ගුවන් නියමුවන්, යානයේ එන්ජිම ක්‍රියාත්මක වෙමින් පවතිද්දීම (With engines running) ඉතා කෙටි වේලාවක් තුළ තුවාලකරුවන් 14 දෙනාම යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් ඉවතට පියාසර කිරීමට සමත් විය. ගුවන් ගමන පුරාම යානය තුළ සිටි ශ්‍රී ලාංකික ගුවන් වෛද්‍ය කණ්ඩායම, සීමිත ඉඩකඩ සහ වෛද්‍ය පහසුකම් මධ්‍යයේ වුවද, තුවාලකරුවන්ගේ ජීවිත ස්ථාවර මට්ටමක තබා ගැනීමට අසීරු සටනක නිරත වෙමින් මෙම මානුෂීය මෙහෙයුම විශිෂ්ට ලෙස ඉටු කළේය.