
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ආරක්ෂිත ස්ටිකර් අලවා තිබූ නීතිවිරෝධී මත්පැන් විශාල තොගයක් නැගෙනහිර පළාතේදී ඊයේ දින සොයාගැනීමත් සමඟ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැඩි කැලඹීමකට පත්ව තිබේ. මෙම සිදුවීමත් සමඟ අදාළ ආරක්ෂිත ස්ටිකර් තොග ජාවාරම්කරුවන් අතට පත්වීමේ ආන්දෝලනාත්මක කරුණ යළිත් කරළියට පැමිණ ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේ නිලධාරීන් සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකරන ලදී.
එහිදී නිවසක සඟවා තිබූ ව්‍යාජ මත්පැන් බෝතල් 5,575ක් සොයාගැනීමට හැකිවූ අතර, ඒවායේ මත්පැන් කර්මාන්තය නියාමනය කරන සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ආරක්ෂිත ස්ටිකර් අලවා තිබිණි. සැකකටයුතු මෙම බෝතල් වයස අවුරුදු 43ක පුද්ගලයෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල්වල තිබූ ස්ටිකර් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ඒවා ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කිරීම සඳහා බලපත්‍ර ලබා ඇති මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) සමාගම විසින් මුද්‍රණය කර නිකුත් කරන ලද සැබෑ ස්ටිකර් බවයි.
සති තුනක කාලසීමාවක් තුළ මෙවැනි වැටලීමක් සිදුකළ තුන්වන අවස්ථාව මෙය වේ. මීට පෙර ජුනි 28 වන දින මාලඹේ ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් ආරක්ෂිත ස්ටිකර් අලවන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.
එම සිද්ධියේදී හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, එම විමර්ශනවලදී මඩකලපුව ප්‍රදේශයේදී ආරක්ෂිත ස්ටිකර් සහිත තවත් ව්‍යාජ මත්පැන් තොගයක් සොයාගැනීමට හැකි විය. මඩකලපුව සිද්ධියේ සැකකරු එම ස්ටිකර් ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ MSP ආයතනය හා සම්බන්ධ බව කියන උප නියෝජිතයෙකු මාර්ගයෙන් බව විමර්ශනවලදී හෙළි වී තිබිණි.
මෙම සිද්ධීන් ද්විත්වයේ පවතින බරපතල තත්ත්වය සලකා බලා සති දෙකකට පෙර මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර, මේ වන විට නව විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.