දඹුල්ලේදී පැවැති තුන්කොන් ‘ඒ’ කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් ඉන්දු ‘ඒ’ කණ්ඩායම විශිෂ්ට ශූරතාවක් දිනා ගැනීමට සමත් විය. මුළු තරගාවලිය පුරාම තමන්ට ආවේණික දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ 15 හැවිරිදි වෛභව් සූරියවංශි, ඉරිදා (ජුනි 21) පැවැති මෙම තීරණාත්මක තරගයේදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දු ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සූරියවංශි ලැයිස්තු ‘ඒ’ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 11ක් පමණි. මොහොමඩ් ශිරාස්ගේ පන්දු හමුවේ හතරේ සහ හයේ පහරවල් එල්ල කරමින් සිය ප්‍රහාරය දියත් කළ ඔහු, ශිරාස්ගේ තෙවැනි පන්දුවාරයේදීම ලකුණු 26ක් මුළු ලකුණු පුවරුවට එකතු කළේය. දුලාජ් සමුදිතටද එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළ සූරියවංශි, ඉන්දීය ඉනිමේ තෙවැනි පන්දුවාරය අවසන් වන විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 50 සීමාව වෙත රැගෙන ආවේය.
ඔහු රැස්කළ මුල් ලකුණු 54ම හතරේ සහ හයේ පහරවලින් පමණක් වාර්තා වීම විශේෂත්වයක් වූ අතර, ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය උඩපන්දු අවස්ථා දෙකකින් උපරිම ප්‍රයෝජන ගැනීමටද ඔහු වගබලා ගත්තේය. සූරියවංශිගේ මෙම දරුණු ප්‍රහාරය හමුවේ අනෙක් අන්තයෙන් ප්‍රියන්ෂ් ආර්ය ලබාදුන් වේගවත් ආරම්භයද යටපත් වී ගිය අතර, ඉන්දීය ඉනිම 7 වැනි පන්දුවාරයේදීම ලකුණු 100 සීමාව පසු කළේය. කුගදාස් මතූලන්ගේ පන්දුවලටද ප්‍රහාර එල්ල කරමින් ලැයිස්තු ‘ඒ’ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව සම කිරීමට ආසන්නව සිටි සූරියවංශි, පන්දු 29කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියදී මිඩ්-ඕෆ් කලාපයේ පන්දු රකින්නා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ඔහු දැවී යන විට 9 වැනි පන්දුවාරයේදී ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 132ක් ලෙස සටහන්ව තිබුණි.
ප්‍රියන්ෂ් ආර්යගේ දැවී යාමෙන් පසු ඉන්දීය ඉනිමේ වේගය තරමක් මන්දගාමී වූ අතර, රුතුරාජ් ගයික්වාඩ් සහ නායක තිලක් වර්මා එක්ව ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ කළහ. මුලදී පන්දු 24කදී ලකුණු 10ක් ලබා ගනිමින් සෙමින් ලකුණු රැස්කළ ගයික්වාඩ්, පසුව හයේ පහරක් එල්ල කරමින් ලකුණු රැස්කිරීමේ වේගය වැඩි කළේය. මොවුන් දෙදෙනා අතර සිදුවූ ලකුණු 84ක සබඳතාවය ඉන්දියාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට මඟ පෑදූ අතර, ගයික්වාඩ් ලකුණු 40කට දැවී ගියේය. තරගාවලියේ තම සිවුවැනි අර්ධ ශතකය පන්දු 70කදී වාර්තා කළ නායක තිලක් වර්මා, එය විශාල ඉනිමක් බවට පරිවර්තනය කිරීමට අපොහොසත් වෙමින් ලකුණු 67කට දැවී ගිය අතර කුමාර් කුෂාග්‍ර ලකුණු 36ක් රැස් කරමින් ඉනිමට ශක්තියක් විය.
ඉන්දීය ඉනිමේ අගභාගයේදී සූරියන්ෂ් ෂෙඩ්ගේ ඇතුළු පිතිකරුවන් තිදෙනෙකු පන්දුවාර තුනක් තුළ දැවී යාම නිසා ලකුණු වේගය යළිත් මන්දගාමී වුවද, විප්රාජ් නිගම් සහ අනුකුල් රෝයි එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. නිෂාන්ත් සින්ධු අඩු ලකුණකට දැවී ගියද, අවසන් පන්දුවාර කිහිපයේදී ක්‍රියාත්මක වූ අනුකුල් රෝයි, පන්දු 15කදී වේගවත් ලකුණු 39ක් රැස් කළේය. කුගදාස් මතූලන් යැවූ අවසන් පන්දුවාරයේදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් උදුරා ගැනීමට රෝයි සමත් වූ අතර, නියමිත පන්දුවාර 50 අවසානයේදී ඉන්දු ‘ඒ’ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 377ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනුජ සහන් ලකුණු 39කට කඩුලු 2ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ලගෙන් වේගවත් ආරම්භයක් ලැබුණද, ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 3කට දවාගැනීමට යෂ් ඨාකූර් සමත් විය. අනතුරුව දික්වැල්ල (25) සහ නුවනිදු ප්‍රනාන්දු (21) යන පිතිකරුවන් දෙදෙනාද දවාගනිමින් ශ්‍රී ලංකා මුල් පෙළ අසිරුතාවයට පත් කිරීමට ඨාකූර් සමත් විය. ඉන්පසු පිටියේ එක්වූ සදීර සමරවික්‍රම අශෝක් ෂර්මාගේ පන්දු හමුවේ වේගයෙන් ලකුණු රැස් කළ අතර, ඔහු පන්දු 41කදී අර්ධ ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ රඳවා තබා ගැනීමට උත්සාහ කළද, ලකුණු 52ක් ලබා සිටියදී දැවී ගියේය.
රවිඳු ප්‍රනාන්දු හතරේ පහර කිහිපයක් එල්ල කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තද තිලක් වර්මා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය අතර, නායක සහන් ආරච්චිගේද අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ගිලිහී යන්නට විය. කෙසේ වෙතත්, වනුජ සහන් (පන්දු 69කදී 62) සහ විජයකාන්ත් වියස්කාන්ත් (පන්දු 34කදී 39) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවක් ගොඩනඟමින් සටනක් දියත් කළහ. ලකුණු වේගය යහපත් මට්ටමක පැවතුණද, ඉලක්කය සපුරා ගැනීමට එය ප්‍රමාණවත් නොවූ අතර අනුකුල් රෝයි විසින් වියස්කාන්ත්ගේ කඩුල්ල දවාගනිමින් එම සබඳතාව බිඳ දැමීය.
ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ කළ වනුජ සහන් රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් විප්රාජ් නිගම්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඉන් අනතුරුව දුලාජ් සමුදිත හයේ පහර දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියද, අනුකුල් රෝයි සහ විප්රාජ් නිගම් එක්ව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු දවාගනිමින් තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු කළහ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 47.1කදී ලකුණු 311කට සීමා වූ අතර ඉන්දු ‘ඒ’ කණ්ඩායම ලකුණු 66ක විශිෂ්ට ජයක් සමඟින් තුන්කොන් තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගත්තේය. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් යෂ් ඨාකූර් ලකුණු 45කට කඩුලු 3ක්ද, විප්රාජ් නිගම් ලකුණු 60කට කඩුලු 3ක්ද, අනුකුල් රෝයි ලකුණු 42කට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
