who-follows-me---manori-sale

සුරේෂ් සලේ මහතාගේ භාර්යාව වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇය මෙම පැමිණිල්ල මගින් චෝදනා කර සිටින්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ යැයි සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු විසින් තමාව සහ සිය දරු දෙදෙනාව නිරන්තරයෙන්ම ලුහුබඳිමින් සැකකටයුතු ලෙස නිරීක්ෂණය කරන බවයි.




මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත්තේ ඇයගේ 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ඊයේ දිනයේදී සිය පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ජාතික රෝහල වෙත ගිය අවස්ථාවේදී බව පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ. එහිදී අදාළ නාඳුනන පුද්ගලයා දරුවන් පසුපස ගමන් කරමින් සිය ජංගම දුරකථනය භාවිත කර ඔවුන්ගේ ඡායාරූප ලබාගැනීම හෝ වීඩියෝගත කිරීමක් සිදු කර ඇති බවට මනෝරි සලේ මහත්මිය කරුණු දක්වා ඇත.

එසේම, මීට පෙර අවස්ථාවලදී ද අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භූමිය ආසන්නයේ මෙන්ම ජාතික රෝහල අවට ප්‍රදේශයේ ද සැකකටයුතු ලෙස ගැවසෙනු තමා විසින් නිරීක්ෂණය කර ඇති බව ඇය අවධාරණය කර තිබේ. මෙම තත්ත්වය මත අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අදාළ සැකකටයුතු පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ඔහු මෙවැනි ක්‍රියාවක නිරත වූයේ කාගේ විධානයක් හෝ උපදෙස් මත දැයි අනාවරණය කර දෙන ලෙසත් ඇය අදාළ ජාතික අධිකාරියෙන් ඉල්ලා සිටියි.



gossiplanka collage