
අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට විමර්ශනවලින් සහන සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණ හැන්දිගේ යන අයයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.අධිකරණයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, මෙම දැවැන්ත අල්ලස් මුදල සැකකරුවන් වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිත කරන ‘ඩිරාම්’ මුදලිනි. ඩුබායි රාජ්‍යයේ වෙසෙන නිර්මල බණ්ඩාර හෙවත් ‘හර්බි’ නැමැති පුද්ගලයා හරහා මෙම කටයුත්ත සම්බන්ධීකරණය වී ඇති අතර, 2023 වසරේ මාර්තු මස 23 වැනිදා මෙම සැකකරුවන් තිදෙනා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. එහිදී හර්බි නැමැත්තාගේ නිවසේදී ඔවුන් ‘හරක් කටා’ නැමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ දැනට අත්අඩංගුවේ පසුවන මිදිගම රුවන් යන අය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී සැකකරුවන් විසින් මුලින්ම රුපියල් කෝටි 50 ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව සාකච්ඡා මාර්ගයෙන් එය කෝටි 30 දක්වාත්, අවසානයේ කෝටි 20 දක්වාත් අඩු කර ඇත. එම මුදලින් කෝටි 12 ක මුදලක් අත්තිකාරම් ලෙස ඉල්ලා ඇති අතර, ඒ අනුව එක් දිනකදී කෝටි 10 ක් සහ ඊට පසු දින තවත් කෝටි 2 ක් වශයෙන් ඩිරාම්වලින් මෙම මුදල ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම අල්ලස් මුදල ලබා ගැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රැඳවුම් භාරයේ සිටින හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුට පනවා ඇති රැඳවුම් නියෝග ඉවත් කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සහ විමර්ශන කටයුතුවලින් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි. මෙලෙස ඩුබායි හිදී ලබාගත් කෝටි 12 ක මුදල මෙරටට ගෙන්වා ගැනීම සඳහා තෙවැනි සැකකරු වන අරුණ වරුණ හැන්දිගේ විසින් ‘උණ්ඩියල්’ ක්‍රමය භාවිත කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 29 වැනිදා එකම ගුවන් යානයකින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මෙම සංචාරය සඳහා රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍යවරයා ද සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව ද වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කළාය.
මෙම අල්ලස් මුදල් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු සැකකරුවන් විසින් සුවිශේෂී පරිභෝජන රටාවක් පෙන්වා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව, තෙවැනි සැකකරු වන අරුණ වරුණ හැන්දිගේ විසින් 2024 වසරේදී ‘බී.එම්.ඩබ්ලිව්.’ වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන ඔහුගේ නිවස ද ඉහළ මට්ටමකින් අලුත්වැඩියා කර තිබේ. එමෙන්ම පළමු සැකකරු වන චරිත් අබේසිංහ ද 2024 වසරේදී ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ අති සුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ නවීන පන්නයේ නිවසක් ඉදිකරමින් පවතින බව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල දැක්වේ.
නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අල්ලස් කොමිසම කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි සහ මිදිගම රුවන් යන අය විසින් ප්‍රකාශ සහ දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බවයි. තවද, මෙම ගනුදෙනුව සම්බන්ධ හඬ පටයක් ද ලැබී ඇති අතර එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ඔවුහු පැවසූහ. සැකකරුවන්ට ඇප ලබා දීමට දැඩි ලෙස විරුද්ධ වූ පැමිණිල්ල, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, මෙම සිද්ධිය මුලින්ම හෙළි කළ යූටියුබ් නාලිකාවකට එරෙහිව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැමිණිලි කර ඔන්ලයින් පනත යටතේ නඩු පවරා තිබීම හරහා සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බව පැමිණිල්ල තහවුරු කළේය. කෙසේ වෙතත්, රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තර්ක කළේ සැකකරුගේ පියා දේශපාලනඥයෙකු වීම සහ රජය විවේචනය කිරීම හේතුවෙන් මෙම දේශපාලන පළිගැනීම සිදුව ඇති බවයි. සැකකරු හෘද රෝගියෙකු බැවින් ඇප දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ අල්ලස් පනතේ හෝ නව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක සැකකරුවන්ට ඇප දීම සඳහා සුවිශේෂී හේතු ඉදිරිපත් විය යුතු බවයි. සැකකරුවෙකු නීතිඥවරයෙකු වීම හෝ සාමාන්‍ය රෝගී තත්ත්වයන් පැවති පමණින් එය ඇප ලබා දීම සඳහා වන සුවිශේෂී කරුණක් නොවන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. නීතිඥවරුන් වීම හේතුවෙන් බන්ධනාගාරය තුළ ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ලබන මස 3 වැනිදා විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කළේය.