හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව තොරතුරු තමන්ගෙන් විමසනවාට වඩා වත්මන් රජයේ පාර්ශ්වයන්ගෙන් විමසා දැනගැනීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ බාප්පා වුවද, වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් ඔහු සමඟ වඩාත් සමීපව කටයුතු කරන ඔහුගේ සමීපතම මිතුරන් වන බවයි.
2005 වසරේ සිටම මෙම ආණ්ඩුවේ සිටින ප්‍රධානීන් තමන්ට වඩා බොහෝ ළඟින් බැසිල් රාජපක්ෂ මහතා ඇසුරු කර ඇති බැවින්, ඔහු මෙරටට පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳව තමන්ගෙන් නොඅසා ඔවුන්ගෙන්ම විමසීම වඩාත් උචිත බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.වත්මන් රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින දීර්ඝකාලීන දේශපාලන සබඳතා සිහිපත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, ආණ්ඩුවේ පිරිස් හැමදාම සවසට ඔහු අමතමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවයි. එම නිසා එලෙස නිරන්තරයෙන් දුරකථනයෙන් කතා කරන වෙලාවක ඔහු ලංකාවට පැමිණෙන්නේ කවදාදැයි ඔවුන්ටම අසාගත හැකි බව මන්ත්‍රීවරයා පවසයි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අධිකရණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඔහු ඇතුළු කිසිදු පුද්ගලයකු නීතිය මගහැර සිටින බව තමන් විශ්වාස නොකරන බවයි. බැසිල් රාජපක්ෂ මහතා දැනට විදේශගතව සිටියද, ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ නිසි ලෙස කරුණු දක්වමින් අවශ්‍ය නීතිමය නියෝජනය සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් තමන්ට වඩා හොඳින් බැසිල් රාජපක්ෂ මහතාව හඳුනන බවත්, ඇතැම් විට ඔවුන්ගේ උපදෙස් මත ඔහු මෙරටට නොපැමිණ සිටින්නේද යන්න තමන් නිශ්චිතවම නොදන්නා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එම කරුණ රජයේ පාර්ශ්වයන්ගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන්ම විමසිය යුතු වුවද, අධිකරණ ක්‍රියාවලිය තුළ ඔහුගේ නියෝජනය නිසි පරිදි සිදුවන බව ඔහු අවධාරණය කළේය. වත්මන් පාලකයන්ට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සමඟ සුවිශේෂී ප්‍රශ්නයක් පවතින බව පෙනී යන බවත්, විශේෂයෙන්ම මැයි මාසය උදාවන විට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් කිසියම් රාජපක්ෂවරයෙකු අධිකරණයට කැඳවීමට පොලිසිය කටයුතු කරන බවත් ඔහු පැවසීය. රජය මෙලෙස කටයුතු කරන්නේ එක් පැත්තකින් ඩයස්පෝරාවට අවශ්‍ය දේ ඉටුකිරීමට බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.
රජය මෙලෙස දේශපාලන අවශ්‍යතා මත කටයුතු කළද, ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක වීමේ ස්වභාවය සහ නීතිය මගහැරීම පිළිබඳව වත්මන් සමාජය හොඳින්ම දැනුවත් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෑතකදී සිදුවූ බාල ගල් අඟුරු ආනයනය, බහාලුම් 323ක් හොර රහසේ පිටකිරීම, මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් මෙරටට ගෙන්වීම මෙන්ම නුවරඑළිය අයිස් ෆැක්ටරිය ආශ්‍රිත සිදුවීම් ඊට කදිම උදාහරණ බව ඔහු පෙන්වා දුන්නේය. රජයට හිතවත්, රජය විසින් පෝෂණය කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් අද වන විට සමාජය තුළ කිසිදු බාධාවකින් තොරව නිදැල්ලේ හැසිරෙන බවත්, රජය තමන්ට හිතවත් අපරාධකරුවන් ආරක්ෂා කරන ගමන්, තමන්ට විරුද්ධව සහ ස්වාධීනව සිටින පාර්ශ්වයන් මර්දනය කිරීමට පමණක් නීතිය උපයෝගී කරගනිමින් හැප්පෙන්නට උත්සාහ කරන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
