
හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක ජල කප්පාදුව සිදුවන වේලාවන් සංශෝධනය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. මීට අමතරව, මීට පෙර පූර්ණ ජල කප්පාදුවක් ප්‍රකාශයට පත් කර තිබූ ඇතැම් ස්ථාන වෙත අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබා දීමට ද තීරණය කර ඇත.
ඒ අනුව නව සංශෝධිත කාලසටහනට අනුව මෙම ජල කප්පාදුව හෙට (24) රාත්‍රී 8.00 සිට අනිද්දා (25) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම තත්ත්වය හේතුවෙන් පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර, මහරගම ප්‍රදේශය සඳහා ජල සැපයුම අඛණ්ඩව ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.
කලටුවාව ප්‍රදේශයේ සිට බොරලැස්ගමුව දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ හේතුවෙන් මීට පෙර මෙම ජල කප්පාදුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය වලංගු නොවන බැවින්, එය නොසලකා හරින ලෙස එම මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.