those-who-posted-the-video-of-the-kotavehera-police-operation-on-social-media-were-arrested

කොටවෙහෙර පොලිස් බලප්‍රදේශය තුළදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරත වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, එම අවස්ථාව වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාලුගොල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දර්ශන පටිගත කිරීම සහ ප්‍රචාරය කිරීම පිටුපස සිටි පුද්ගලයන් පස්දෙනෙකු හඳුනාගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වූ අතර, ඒ අනුව නිකවැරටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.




මෙම සිදුවීමට මුල්බිම සකස් වී ඇත්තේ පසුගිය මැයි මස 16 වැනිදාය. එදින කොටවෙහෙර පොලීසිය විසින් පාලුගොල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 'අයිස්' මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි වයස අවුරුදු 19 සහ 28 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. මහඋස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මෙම සැකකරුවන් දෙදෙනා මැයි 17 වැනිදා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණු අතර, පසුව මැයි 21 වැනිදා ඔවුන් වරද පිළිගැනීම නිසා රුපියල් 5,000 බැගින් වූ දඩ මුදලකට යටත් කර ඇත.

කෙසේ වෙතත්, මැයි 16 වැනිදා අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පස්දෙනෙකු නීතිවිරෝධී ලෙස ඒකරාශී වී පොලිස් නිලධාරීන්ට බාධා පමුණුවා, අපරාධකාරී බලහත්කාරකම් සිදුකරමින් එම ගැටුම්කාරී තත්ත්වය වීඩියෝ කර තිබේ. 

පසුව මෙම දර්ශන දැරණියගල පොලිස් බලප්‍රදේශයේ සිදුවූ වෙනත් සිදුවීමක් ලෙස ව්‍යාජ ලෙස හුවාදක්වමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මෙම වීඩියෝව ප්‍රචාරය කිරීමට සම්බන්ධ වූ අනෙක් සැකකරුවන් සිව්දෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් විමර්ශන සිදුකරයි.