රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන සිටින අතරතුර උපවාසයක් ආරම්භ කර ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී.
සුරේෂ් සාලේ මහතාගේ බිරිඳ, සහෝදරයා සහ වැඩිමහල් පුත්‍රයා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ, ඔහු මේ වන විට ආහාර සහ ඖෂධ ලබා ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි. 2026 පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගනු ලැබූ ඒ මහතා, මුලින් පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේද, පසුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද දින 90ක රැඳවුම් නියෝගයක් යටතේද මේ වන විට ප්‍රශ්න කිරීම් වලට ලක්වෙමින් සිටී.
මෙම උපවාසයට ප්‍රධාන හේතුව ලෙස පාර්ශ්ව කිහිපයක් පෙන්වා දෙන්නේ, රැඳවුම් භාරයේදී ඔහුට වධහිංසා සහ ලිංගික අඩත්තේට්ටම් සිදු වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රකාශවල පැහැදිලි පරස්පරතා කිහිපයක් දක්නට ලැබේ. අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු එනම් මාර්තු මස මුලදී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු පරීක්ෂා කළ අවස්ථාවේදී, තමාට කිසිදු ගැටලුවක් හෝ වධහිංසාවක් සිදු නොවූ බවත්, සාමාන්‍ය ශරීර පරීක්ෂාවක් පමණක් සිදු කළ බවත් සුරේෂ් සාලේ මහතා ප්‍රකාශ කර තිබේ. නමුත් මැයි මස මුලදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (JMO) හමුවේ ඔහු පවසා ඇත්තේ තමාගේ ඇඳුම් ඉවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළ බවයි. ඉන්පසුව මනෝ වෛද්‍යවරයා හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඇඳුම් පහත් කර පරීක්ෂා කිරීමක් සිදු කළ බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කිරීමට තමා ලැජ්ජා වන බවත්ය.
මෙම පරීක්ෂා කිරීම්වල ස්වභාවය පිළිබඳව සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, අදාළ ශරීර පරීක්ෂාවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නොව පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ස්වාධීන කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ‘හරක් කටා’ නමැති අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමට උත්සාහ කිරීමේ සිදුවීමෙන් පසු, රැඳවියන් සන්තකයේ මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ශරීරයේ සඟවාගෙන (බංකර ගැසීම) සිටීදැයි සෙවීම සඳහා දෛනිකව සහ අහඹු ලෙස විශේෂ කාර්ය බලකාය යොදවා පරීක්ෂාවන් සිදු කිරීම සාමාන්‍ය ආරක්ෂක ක්‍රියාපටිපාටියක් බවට පත්ව ඇත.
ආහාර සහ ඖෂධ ප්‍රතික්ෂේප කරමින් සිටින බවට ප්‍රකාශ වුවද, සුරේෂ් සාලේ මහතාව විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවත්, එහි වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර තිබේ. මේ අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘චැනල් ෆෝ’ නාලිකාවේ අසාද් මවුලානා විසින් කරන ලද ප්‍රකාශ මත පමණක් පදනම්ව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කටුවාපිටිය දේවස්ථානය අසලදී ඔහු සන්නිවේදනය කළ බවට ‘පෙත්තා’ නමැති ඔත්තුකරු ලබා දුන් සාක්ෂිය, ‘රූමි’ නමැති ඔත්තුකරුට උපදෙස් ලබා දීම, සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ (DNA) වාර්තා වෙනස් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලපෑම් කිරීම සහ ටාජ් සමුද්‍රා හෝටලයට බෝම්බය රැගෙන ආ පුද්ගලයා බේරාගෙන යන ලෙස අසාද් මවුලානාට දුරකථන ඇමතුම් ලබා දීම යන බරපතළ කරුණු මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.
ආරම්භයේදී විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහය ලබා දෙමින් සිටි සුරේෂ් සාලේ මහතාගේ හැසිරීම මෙලෙස හදිසියේ වෙනස් වී ඇත්තේ, මෑතකදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජෙනරාල් උඩුලාගම සහ කර්නල් මොහොමඩ් අන්සාර් යන අයට පැනවූ විදෙස් ගමන් තහනමත් සමඟ බව නිරීක්ෂණය වේ. ඔහුගේ නීතිඥයින් විසින් සිය සේවාදායකයාගේ අවසන් කැමති පත්‍රය සකසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කිරීම වැනි නාට්‍යමය ක්‍රියාමාර්ග හරහා, සාර්ථකව ඉදිරියට යමින් පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩාකප්පල් කිරීමේ සැලසුම් සහගත උත්සාහයක නිරත වන බවට සැක මතු වී තිබේ. පොලිස් භාරයේදී කිසිදු සැකකරුවෙකුට වධහිංසා පැමිණවීම අනුමත කළ නොහැකි වුවද, පුද්ගලයින් දෙසිය ගණනකට ජීවිත අහිමි කළ ත්‍රස්ත ප්‍රහාරයක වින්දිතයින්ට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මෙවැනි දේශපාලනික අරමුණු මත යටපත් කිරීමට උත්සාහ කිරීම බරපතළ තත්ත්වයකි.
