
උදෑසන හිරු කිරණ සමඟ පාසල බලා ඇරඹි ඒ සුන්දර ගමන, මවකගේ සෙනෙහසත් පුතෙකුගේ අනාගතයත් අඩි පහළොවක් මහතැති දැවැන්ත ගස් කඳක් යට සදහටම සඟවා දමනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.
නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ දැවැන්ත යුකැලිප්ටස් ගසක් ඊයේ (04) උදෑසන 6:45 ට පමණ හදිසියේම කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුවිය. ගස කඩා වැටෙනවාත් සමඟම රියැදුරු ඉවතට පැන දිවි ගලවා ගත්තද, රථයේ පසුපස අසුනේ ගමන් ගත් පාසල් සිසුවා, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් රථය තුළම සිරවී එතැනම ජීවිතක්ෂයට පත් වූහ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වූයේ ගලබොඩ දෙමළ විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සුරේෂ් වන්දන් නැමැති පාසල් සිසුවා සහ ඔහුගේ මව වන 42 හැවිරිදි සොනමුත්තු කවිතා යන අයයි. ඔවුන් සමඟ ගමන් ගත් 57 හැවිරිදි පක්කිනාදන් ජෙනී නැමැති කාන්තාවද මෙම ඛේදවාචකයෙන් දිවි අහිමි කර ගත්තාය. මේ තිදෙනාම නාවලපිටිය ගලබොඩ පහළ කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ගස කඩා වැටෙන මොහොතේ රථයෙන් පිටතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලැබූ රියැදුරු නඩරාජා සෙල්වකුමාර මේ වන විට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අනතුර දුටුවන් පවසන ආකාරයට, වට අඩි පහළොවක් පමණ වූ මෙම දැවැන්ත ගස් කඳට ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම යටවී පැවතිණි. ගලබොඩ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියැදුරෙකු ගස ඇලවෙනු දැක සිය බස් රථය නවතා ගත් මොහොතේම, ඉදිරියට ඇදුණු මෙම ත්‍රිරෝද රථය මතට ගස කඩාගෙන වැටී තිබේ. මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පෙන්වා දෙන පරිදි, මෙම ගස බස් රථය මතට කඩා වැටුණේ නම් මීට වඩා විශාල මහා විපතක් වීමට ඉඩ තිබුණි. ගසෙහි ඇති අධික බර හේතුවෙන් සිරවී සිටි පිරිස බේරාගැනීම දැඩි අසීරු කාර්යයක් වූ අතර, පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගස කපා ඉවත් කර සිරුරු පිටතට ගන්නා විටත් ඔවුන් තිදෙනාගේම ප්‍රාණය නිරුද්ධ වී තිබිණි.
කෙසේ වෙතත්, මෙම මරණ හුදු අහඹු අනතුරක් නොව බලධාරීන්ගේ නොසැලකිල්ල නිසාම සිදුවූවක් බව ප්‍රදේශවාසීහු දැඩි සේ චෝදනා කරති. කාලයක් තිස්සේ දිරාපත්ව, මාර්ගයට ඇලවී අවදානම් තත්ත්වයේ පැවති මෙම ගස කපා ඉවත් කරන ලෙස ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු අදාළ ආයතන වෙත මාස හයකට පමණ පෙර සිටම දැනුම් දී තිබිණි. එහෙත්, රජයේ ඉඩමක ඇති ගසක් කපා දැමිය නොහැකි බව පවසමින් බලධාරීන් නිහඬ වීම හේතුවෙන් අද මෙලෙස අහිංසක ජීවිත තුනක් මහමඟ අහිමි වී ගොස් ඇත.
නියමිත වේලාවට නිලධාරීන්ගේ දෑස් විවෘත වූවා නම්, අදටත් ඒ මවගේ සෙනෙහස මැද කුඩා සුරේෂ් සිය පාසල් පොත් මිටිය තුරුළු කරගෙන හෙට දවස ගැන සිහින දකිනු නිසැකය.
