the-sri-lankan-team-won-by-37-runs-after-defeating-the-west-africans

කින්ග්ස්ටන්හිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලැබූ පරාජයෙන් පසු ප්‍රබල ලෙස යළි අවදි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදා ලකුණු 37ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ආරම්භක පිතිකරු කමිල් මිෂාර නොදැවී රැස් කළ ලකුණු 61 සහ මැදපෙළ පිතිකරු දසුන් ශානකගේ ප්‍රවේගකාරී ලකුණු 58 ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙන ගිය අතර, පන්දු යවන්නන් එම ඉලක්කය සාර්ථකව ආරක්ෂා කර ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් දවා ගනිමින් කොදෙව් ඉනිම බිඳ දැමූහ.




ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් පවර් ප්ලේ පන්දුවාර කිහිපය තුළ වේගවත් ප්‍රහාරයක නිරත වෙමින් පන්දු 19කදී ලකුණු 31ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, ලකුණු හතරක් ඇතුළත කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම දැවී ගිය අතර, පවර් ප්ලේ සීමාවෙන් පසුව පවන් රත්නායකද දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 43කට කඩුලු 3ක් ලෙස සටහන් විය. ඉන් අනතුරුව පිටියේ එක්වූ කමිල් මිෂාර සහ කමිඳු මෙන්ඩිස් ඉනිම ගොඩනැගීමේ වගකීම භාර ගනිමින් පන්දු 35කදී ලකුණු 45ක තරමක් සංයමයකින් යුත් සබඳතාවක් පැවැත්වූහ.

දසුන් ශානකගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ වේගය අතිශයින් ඉහළ ගිය අතර ඔහු රොස්ටන් චේස්ට එරෙහිව ක්‍රීඩාංගණයේ වහලයෙන් ඉහළට යන දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සිය ප්‍රහාරය ආරම්භ කළේය. චේස් යැවූ 14 වැනි පන්දුවාරයෙන් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 19ක් උදුරා ගැනීමට ශානක සමත් වූ අතර, ෂැමර් ස්ප්‍රින්ගර්ට එරෙහිවද හතරේ සහ හයේ පහරවල් එල්ල කළේය. මුලදී පන්දු 23කින් ලකුණු 22ක් ලබා සිටි මිෂාරද අවසන් පන්දුවාරවලදී ප්‍රහාරාත්මක මුහුණුවරක් ගත් අතර, මැතිව් ෆෝඩ්ට හයේ පහර දෙකක් එල්ල කරමින් සහ රොමාරියෝ ෂෙපර්ඩ්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් පන්දු 40කින් සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. ෂෙපර්ඩ් යැවූ එම පන්දුවාරයෙන්ද ශ්‍රී ලංකාව ලකුණු 19ක් ලබා ගත්තේය.




ඉන් අනතුරුව ශානකද ස්ප්‍රින්ගර්ගේ පන්දුවකට හයේ පහරක් ගසමින් පන්දු 19කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. කෙසේ වෙතත්, ෂැමර් ජෝසප් යැවූ විශිෂ්ට අවසන් පන්දුවාරයේදී ලකුණු 3ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට ඔහු සමත් වූ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව පසු කිරීමට නොහැකි විය. එහිදී දැවී ගිය දසුන් ශානක හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 24කදී ලකුණු 58ක් රැස් කර තිබූ අතර ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20කදී කඩුලු 6කට ලකුණු 194ක් ලෙස නතර විය. එහිදී පන්දු යැවූ ෂැමර් ජෝසප් ලකුණු 32කට කඩුලු 3ක් බිඳ හෙලීය.

ලකුණු 195ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ෂායි හෝප් සහ බ්‍රැන්ඩන් කින්ග් පිළිවෙළින් දුනිත් වෙල්ලාලගේ සහ දුෂ්මන්ත චමීර හමුවේ දෙවැනි පන්දුවාරය වන විට ලකුණු 9කට දැවී ගියහ. ඉන් අනතුරුව පිටියේ එක්වූ ෂිම්රොන් හෙට්මයර් සහ රොව්මන් පවෙල් තරගය කොදෙව් පිල දෙසට හැරවීමට දැඩි උත්සාහයක නිරත වූ අතර, ඔවුන් ඉනිමේ අඩක් පමණ වන තෙක් අවශ්‍ය ලකුණු වේගය රඳවා ගැනීමට සමත් වූහ. එෂාන් මාලිංග යැවූ පන්දුවාර දෙකකින් ලකුණු 28ක් සහ මහීෂ් තීක්ෂණගේ පන්දුවාරයකින් ලකුණු 18ක් උදුරා ගැනීමට ඔවුහු සමත් වූහ. හෙට්මයර් ස්ටම්ප් කිරීමේ අවස්ථාවකින් අනූනමයෙන් බේරුණද, ඉන් පන්දු හතරකට පසුව ලකුණු දුවද්දී දැවී යාමකට හසුවීමත් සමඟ කොදෙව් ඉනිම බිඳ වැටීම ආරම්භ විය.



පන්දු 26කදී ලකුණු 43ක් රැස් කරමින් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක රොව්මන් පවෙල්ද දැවී යාමත් සමඟ කොදෙව් කණ්ඩායම ලකුණු 91කට කඩුලු 4ක් ලෙස දැඩි පීඩනයකට පත් විය. ඉන් අනතුරුව මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට පෙර පිතිකරුවන් ලබා දුන් අඩිතාලම ඉදිරියට ගෙනයාමට නොහැකි වූ අතර, අවසන් කඩුලු 6ම ලකුණු 66ක් ඇතුළත බිඳ වැටුණි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 18.1කදී ලකුණු 157කට සීමා විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිශය දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 9කට කඩුලු 3ක් සහ වනිඳු හසරංග ලකුණු 38කට කඩුලු 3ක් බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට ලකුණු 37ක පහසු ජයක් තහවුරු කර දුන්හ.