04-million-still-do-not-have-tin-numbers

ශ්‍රී ලංකාව තුළ බදුගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ‘ටින්’ (TIN) අංකය මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයන් මිලියන හතරකට ආසන්න පිරිසක් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා සනාථ කරයි. වයස අවුරුදු 18 සපිරුණු සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මෙම අංකය ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර, ඒ අනුව මෙරට තුළ ටින් අංකය සතු කරගත යුතු මුළු ජනගහනය මිලියන 17ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

එහෙත්, වත්මන් දත්තවලට අනුව මේ දක්වා එම අංකය නිල වශයෙන් නිකුත් කර ඇත්තේ පුද්ගලයන් මිලියන 13කට වැඩි පිරිසකට පමණි.




මේ අතර 2026 වසරේ අංක 11 දරන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පත බලාත්මක වීමත් සමඟ, පුද්ගලයන්ගේ දෛනික මෙන්ම වෘත්තීයමය මට්ටමේ ප්‍රධාන කාර්යයන් රැසක් සඳහා මෙම ටින් අංකය ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් අනිවාර්ය කර තිබේ. ඒ අනුව, මින් ඉදිරියට අලුතින් බැංකු ගිණුම් ආරම්භ කිරීම, ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගැනීම මෙන්ම විවිධ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කටයුතුවලදී ද මෙම අංකය අත්‍යවශ්‍ය වනු ඇත. ඊට අමතරව, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම, වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ සමාගම් කොටස් හුවමාරු කිරීම් වැනි විවිධ මූල්‍ය හා නීතිමය ගනුදෙනුවලදී ද ටින් අංකය අනිවාර්යයෙන්ම සැපයිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම, අදාළ නව සංශෝධිත පනතේ අඩංගු ප්‍රතිපාදනවලට අනුව මින් ඉදිරියට බදුගෙවන්නා හඳුනා ගැනීමේ අංකය කිසිදු අයුරකින් රහසිගත තොරතුරක් වශයෙන් සලකනු නොලැබේ.