the-public-rejects-the-proposal-to-limit-the-population-of-switzerland

ස්විට්සර්ලන්තයේ ජනගහනය මිලියන 10කට සීමා කිරීම සඳහා එරට දක්ෂිණාංශික පක්ෂයක් විසින් ඉදිරිපත් කළ මතභේදාත්මක යෝජනාව එරට ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. "ස්විස් බ්‍රෙක්සිට්" (Swiss Brexit) ලෙසින් හඳුන්වනු ලැබූ මෙම යෝජනාවට එරෙහිව ඡන්ද ප‍්‍රතිශතයෙන් 54.79%ක් ලැබී ඇති අතර, එයට පක්ෂව ලැබී ඇත්තේ 45.21%ක ඡන්ද ප්‍රමාණයක් පමණි.

මෙම ජනමත විචාරණය සඳහා 58.86%ක ඡන්ද දායකයින් පිරිසක් සහභාගී වී ඇත.




ස්විට්සර්ලන්තයේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි දේශපාලන පක්ෂය වන ස්විට්සර්ලන්ත මහජන පක්ෂය (SVP) විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ රටේ යටිතල පහසුකම්, නිවාස සහ සමාජ සුබසාධන කටයුතු මත එල්ල වන පීඩනය පාලනය කිරීමේ අරමුණ ඇතිවය. 2050 වසර වන විට ස්විට්සර්ලන්තයේ ජනගහනය මිලියන 10කට සීමා කළ යුතු බවත්, ජනගහනය මිලියන 9.5 ඉක්මවන අවස්ථාවේදීම පවුල් එකතු කිරීමේ අයිතිය සහ රැඳී සිටීමේ අවසර පත්‍ර සම්බන්ධයෙන් දැඩි සීමාවන් පැනවිය යුතු බවත් ඔවුන් තර්ක කළේය.

මෙම යෝජනාව බලාත්මක වූයේ නම්, නියමිත ඉලක්කය ඉක්මවා යාමේදී යුරෝපා සංගමය සමඟ පවතින නිදහස් සංචාරක ගිවිසුමෙන් ඉවත් වීමට ස්විස් රජයට සිදුවන බව පැවසේ. එසේ වුවහොත් යුරෝපා සංගමයේ පොදු වෙළෙඳපොළට පවතින ප්‍රවේශය අහිමි වී ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බවට අනතුරු ඇඟවීම් ලැබී තිබුණි. ස්විට්සර්ලන්තයේ අමාත්‍යවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත රජය ද, මෙම යෝජනාව ජාතික ස්ථාවරත්වයට සහ රටේ ආර්ථික සමෘද්ධියට තර්ජනයක් වන බව පවසමින් එයට විරුද්ධත්වය පළ කර තිබුණි.




ස්විට්සර්ලන්තයේ ව්‍යාපාරික කණ්ඩායම් ද මෙම ජනගහන සීමා කිරීමේ යෝජනාවට සිය විරෝධය දැක්වූයේ විදේශීය ශ්‍රමිකයන් සඳහා පවතින ප්‍රවේශය සීමා වීමෙන් ආර්ථිකයට හානි සිදුවිය හැකි බව පෙන්වා දෙමිනි. ස්විට්සර්ලන්තයේ පවතින සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ මාස 18ක් ඇතුළත අත්සන් 100,000ක් ලබාගන්නා යෝජනා ජනමත විචාරණයකට යොමු කළ හැකි අතර, ස්විට්සර්ලන්ත මහජන පක්ෂය වසර ගණනාවක් පුරා සංක්‍රමණ විරෝධී මතවාද සමාජගත කිරීම සඳහා මෙවැනි උපක්‍රම භාවිත කර ඇත.

මෙම යෝජනාව පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව වූයේ යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා බිඳී යාම සහ කම්කරු වෙළෙඳපොළට සිදුවන බලපෑම් පිළිබඳව ඡන්ද දායකයින් තුළ පැවති බිය බව ජනමත විමසුම් ආයතන පෙන්වා දෙයි. එසේම සෞඛ්‍ය සහ රැකවරණ සේවා සඳහා ප්‍රමාණවත් සේවකයින් නොමැති වීම සහ කුඩා රටක් ලෙස ජාත්‍යන්තර පරිසරය තුළ මෙවැනි පියවරක් ගැනීම නුසුදුසු බවට ජනතාව තුළ මතයක් ගොඩනැගී තිබුණි. ස්විට්සර්ලන්තයේ වත්මන් ජනගහනය මිලියන 9.1ක් වන අතර, 2002 වසරේ නිදහස් සංචාරක ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු එරට ජනගහනය සහ ආර්ථික වර්ධනය යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට වඩා වේගයෙන් සිදුවී ඇත.

the-public-rejects-the-proposal-to-limit-the-population-of-switzerland