නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයකදී තරුණ භෞත චිකිත්සකවරියක ගෙල සිරකර ඝාතනය කිරීමේ සාහසික සිදුවීමත් සමඟ සමාජය දැඩි කම්පනයකට පත් වූ අතර, මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී වඩාත්ම අවධානය යොමුව ඇත්තේ ඝාතකයාට නීතියෙන් බේරී සැඟව සිටීමට උපකාර කළ පුද්ගලයන් ජාලය වෙතයි. යුක්තිය පසිඳලීමට සහ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමට බැඳී සිටින ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු මෙන්ම පළාත් පාලන ආයතනයක සේවකයෙකුද මෙම සාහසික අපරාධයේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට රැකවරණය සපයමින් සහයෝගය දක්වා තිබීම මෙම සිද්ධියේ ඇති වඩාත්ම බරපතල සහ ආන්දෝලනාත්මක පැතිකඩ බවට පත්ව තිබේ.
විශේෂයෙන් අපරාධයෙන් පසු චම්පිකට සැඟව සිටීමට අපූරු උපායක් කියාදෙමින් නවාතැනක නොසිට දවල් කාලයේ බස්වල ගමන් කරන ලෙස උපදෙස් දී ඇත්තේ පොලිස් ප්‍රධානියෙකි. මේ වනවිට අත්අඩංගුවටද පත්ව ඇති ඔහු නිසා අවස්ථා තුනකදී යාපනයට පවුල පිටින් ගමන් කර නැවත කොළඹට ඒමට චම්පික කටයුතු කර තිබුණි.ඒ අනුව ඔහු දවසපුරා බස්වල සිටිනවිට පොලිසියට අල්ලන්ට අමාරු වනු ඇතැයි පොලිස් ප්‍රධානියාගේ උපාය වී තිබුණි.
ශාමා දර්ශනී නමැති මෙම භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පුළුල් වෙද්දී, ව්‍යාජ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටි ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට අවශ්‍ය සියලු මඟපෙන්වීම් සහ උපදෙස් ලබා දුන් කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ පනස් හය හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මහනුවර ප්‍රදේශයේදී නුවරඑළිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙම උසස් පොලිස් නිලධාරියා අදාළ ඝාතනය සිදු වූ දින සිට ප්‍රධාන සැකකරු කුණ්ඩසාලේ පිහිටි තම නිවසේදීම අවස්ථා තුනකදී මුණගැසී ඇති අතර, පොලිස් ඇසට වැලි ගසා දින හතරකට අධික කාලයක් ආරක්ෂිතව සැඟවී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මක සැලසුම් සකස් කර දී ඇත්තේද ඔහුය. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක වගකිවයුතු තනතුරක් දරන මෙම නිලධාරියා ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරෙකු බව කියන අතර, ඔහු විසින් ලබාදුන් උපක්‍රමශීලී උපදෙස් මත සැකකරු තම බිරිඳ සහ කුඩා දරුවාද කැටුව පොලිසිය මඟහරිමින් කට්ටි පැනීමට සමත්ව තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම අපරාධයට සෘජුව සහ වක්‍රව ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වූ අනෙක් වැදගත් පුද්ගලයා වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවය කරන හතළිස් නව හැවිරිදි රියදුරෙකි. ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ නමැති මෙම පුද්ගලයා ඝාතන සැලසුමට හෝ ඉන්පසු සැකකරුවන්ට පලායාමට අවශ්‍ය ප්‍රවාහන හා අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සපයමින් සහයෝගය දක්වා ඇති බවට සැකකෙරේ. නුවරඑළිය පොලිස් නිලධාරීන් විසින් ඔහුවද විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන ඝාතකයාට සමාජය තුළ නිදැල්ලේ හැසිරීමට සහ ආරක්ෂිත තාවකාලික නවාතැන් සොයා ගැනීමට මෙම රියදුරාගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව පොලිසිය විශ්වාස කරයි.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර නැමැත්තා වන අතර, ඔහුගේ මෙම පලායෑමේ සැලසුමට ඔහුගේ තිස්පස් හැවිරිදි බිරිඳ වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායකද පූර්ණ සහයෝගය ලබා දී තිබේ. ඉහත කී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මතය ක්‍රියාත්මක වූ මෙම අඹුසැමි යුවල, දිවා කාලයේ පොලිස් මුරපොලවල් මඟහැරීම සඳහා අමුතුම උපක්‍රමයක් භාවිත කර ඇත. ඔවුන් කිසිදු ස්ථානයක ස්ථිරව රැඳී නොසිට, දහවල් කාලය ගත කිරීම සඳහා කොළඹ වැල්ලවත්තේ සිට යාපනය දක්වා ධාවනය වන දුරගමන් බස් රථවල තම කුඩා දරුවාද සමඟ අවස්ථා තුනකදීම ගමන් කර තිබේ. යාපනයට ගොස් එහි තාවකාලිකව නවාතැන් ගෙන නැවතත් රාත්‍රී කාලයේදී තමන් දන්නා හඳුනන මිතුරන්ගේ නිවෙස් වෙත පැමිණ සැඟවී සිටීමට ඔවුන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, මෙම සැකකාර අඹුසැමි යුවලගේ සූක්ෂ්ම සැලසුම් ව්‍යර්ථ කරමින් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් යාපනය කයිතඩි ප්‍රදේශයේදී ඔවුන් ගමන් ගත් බස් රථය වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් විය. පසුව මෙම අඹුසැමි යුවල වැඩිදුර පරීක්ෂණ සඳහා නුවරඑළිය පොලිසිය වෙත භාර දෙන ලදී. නුවරඑළිය කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා ප්‍රකාශ කළේ, ප්‍රධාන සැකකරු සන්තකයේ විශාල මුදල් ප්‍රමාණයක් නොතිබූ බැවින් ඔහු ඉන්දියාවට හෝ වෙනත් කිසිදු විදේශ රටකට පැන යාමට උත්සාහ කර නොමැති බව විමර්ශනවලදී තහවුරු වූ බවයි. මුදල් හිඟකම නිසාම ඔහු ලංකාව ඇතුළත විවිධ ප්‍රදේශවල බස් රථ මඟින් සංචාරය කරමින් කාලය මරා දැමීමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබේ.
නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස මහත්මිය වෙත නුවරඑළිය පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව, ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ප්‍රාදේශීය සභා රියදුරා යන තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක රැඳවුම් නියෝග ලබා දී ඇත. මෙම අතිශය සංකීර්ණ විමර්ශනය නුවරඑළිය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා සහ සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක යන මහත්වරුන්ගේ සෘජු මෙහෙයවීමෙන් සිදු කෙරේ. නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති චමින්ද සංජීව, කොට්ඨාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති නිශාන්ත බණ්ඩාර සහ අපරාධ විමර්ශන ස්ථානාධිපති ප්‍රේමලාල් යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඝාතනයට සහය දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු පිරිස පිළිබඳව ඉදිරි පුළුල් විමර්ශන සිදු කරති.