එංගලන්ත පාසල් දරුවන් සිය අධ්‍යාපන කටයුතු මඟහැර ඇමරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සඳහා රැගෙන යන දෙමාපියන්ට දැඩි දඩ මුදල්වලට යටත් වීමට සිදුව තිබේ.
පසුගිය සතියේ ඩලස් ක්‍රීඩාංගණයේදී ක්‍රොඒෂියාවට එරෙහිව එංගලන්තය ලැබූ 4-2 ක ජයග්‍රහණය නැරඹීමට පැමිණි හැත්තෑ දහසක් වූ ප්‍රේක්ෂකයින් අතරින් දහසය දහසක් පමණ එංගලන්ත ජාතිකයින් වූ අතර, ඒ අතර පාසල් වියේ පසුවන දරුවන් රැසක් සිටින බව නිරීක්ෂණය වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙවැනි සුවිශේෂී තරගාවලියක් අත්විඳීම වැදගත් වුවද එය දරුවන්ගේ අධ්‍යාපනය බිලිදෙමින් සිදු නොවිය යුතු බවයි. පාසල් කාලය තුළ මෙලෙස නිවාඩු ලබා ගැනීම සමස්ත පන්තියටම මෙන්ම මඟහැරුණු පාඩම් ආවරණය කිරීමට සිදුවන ගුරුවරුන්ටද අමතර බරක් වන බව ඔවුහු පෙන්වා දෙති.
මෙම නීතිමය තත්ත්වය නොතකා සිය දස හැවිරිදි දියණිය වන සියෙනා පාසලෙන් ඉවත් කරගෙන ලෝක කුසලානය නැරඹීමට පැමිණි දෙදරු පියෙකු වන 45 හැවිරිදි රස් වයිට් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් මතු වී ඇත. ලෙස්ටර් නුවරට ආසන්න කෝල්විල් හි පිහිටි ඇයගේ පාසලේ විදුහල්පතිවරයාගෙන් සති දෙකක නිවාඩුවක් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කළද එය ප්‍රතික්ෂේප වී තිබේ. කෙසේ වෙතත්, පාසලේ අවසරයකින් තොරව ඇමරිකාවට පැමිණි ඔවුන්, "මම පාසලේ සිටිය යුතු වුවත් මගේ තාත්තා මාව ලෝක කුසලානයට රැගෙන ආවා" යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සමාජ මාධ්‍ය වෙත ඡායාරූපයක් ද එක් කර ඇත. තවද ඔවුන් ටෙක්සාස් සිට බොස්ටන් දක්වා ගොස් ඝානාවට එරෙහිව පැවැත්වෙන මීළඟ තරගය නැරඹීමට ද සැලසුම් කර තිබේ.
පාසල් නීතියට අනුව අනවසරයෙන් දින පහක් පාසලට නොපැමිණෙන දරුවෙකුගේ දෙමාපියන්ට එක් අයෙකුට පවුම් 80 බැගින් දඩ මුදලක් නියම වන අතර, එය දින 21ක් ඇතුළත ගෙවිය යුතුය. දින 28ක් දක්වා ප්‍රමාද වුවහොත් එම මුදල පවුම් 160 දක්වා ඉහළ යන අතර, වසර තුනක් ඇතුළත දෙවන වරටත් එම වරදම කළහොත් ඍජුවම පවුම් 160ක ඉහළ දඩයක් නියම කෙරේ. වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු වන රස් වයිට් මීට වසර දෙකකට පෙර ජර්මනියේ පැවති යුරෝ කුසලානය නැරඹීමට ද සිය දියණිය රැගෙන ගොස් ඇති බැවින් තමාට මෙවර පවුම් 320ක දඩයක් නියම වනු ඇතැයි අපේක්ෂා කරයි.
තමා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙකු බවත්, විවේකයක් ලැබෙන්නේ කලාතුරකින් බවත් පවසන රස් වයිට්, දියණියගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි පාඩම් වැඩ ආවරණය කිරීමට පාසලෙන් සහාය ඉල්ලා සිටියද ඔවුන් ඊට එකඟ වී නැත. කෙසේ වෙතත් දියණියගේ කියවීමේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට තමන් වගබලා ගන්නා බව ඔහු සඳහන් කර තිබේ. මේ අතර, එංගලන්ත ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ජෝර්ඩන් පික්ෆර්ඩ් සහ ඩෑන් බර්න් යන දෙදෙනාගේද පාසල් යන වයසේ පසුවන දරුවන් මෙවර තරගාවලිය සඳහා ඇමරිකාවට පැමිණ ඇති බව වාර්තා වේ.