the-2nd-defendant-in-the-easter-case-is-identified-in-the-university-students-rented-house-gapur-mama

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මහා නඩුවේ දෙවැනි විත්තිකරු වන ‘ගපුර් මාමා’ නමැත්තා සරසවි සිසුන් පිරිසකට නවාතැන් දීමට බව පවසමින් කුලියට ගත් නිවසක සැඟවී සිටි බව, නින්දවූර් ප්‍රදේශයේ සාක්ෂිකරුවෙකු විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී හඳුනාගෙන තිබේ. මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම හඳුනාගැනීම සිදු විය.




ප්‍රහාරයෙන් පසුව නින්දවූර්හි පිහිටි ආරක්ෂිත නිවසේ සැඟවී සිටි පුද්ගලයා විත්තිකරුවන් අතර සිටීදැයි හඳුනාගන්නා ලෙස අධිකරණය දැනුම් දුන් අවස්ථාවේදී, චූදිතයන් අසලට යාමට තමන්ට බියක් දැනෙන බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය. එහෙත් විත්තිකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ පසුවන බවත්, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව සාක්ෂිකරුට මෙන්ම ඔහුගේ පවුලේ අයටද රජයේ ආරක්ෂාව හිමිවන බැවින් බියකින් තොරව තොරතුරු පවසන ලෙසත් අධිකරණය දැනුම් දුන්නේය. ඉන් අනතුරුව කිසිදු පැකිලීමකින් තොරව සාක්ෂි කූඩුවේ සිටම විත්තිකරුවන් දෙසට අත දිගු කළ සාක්ෂිකරු, සුදු පැහැති දිගු යටි රැවුලක් සහ තට්ට හිසක් සහිත වයස්ගත පුද්ගලයා තමන්ගේ මහගෙදර නවාතැන්ගෙන සිටි තැනැත්තා බවට පෙන්වා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සාක්ෂිකරු කියා සිටියේ තමන් කොළඹ රාජ්‍ය ආයතනයක සේවය කරන අයෙකු වන අතර, පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර එළඹි සිකුරාදා දිනක සති අන්ත නිවාඩුව සඳහා තමන් ගමට ගිය බවයි. එහිදී තමන්ගේ නංගීගේ නිවසේදී මව හමු වූ බවත්, වයස්ගත මවට නිවසේ තනිවම විසීමට අපහසු නිසා ඇය බාල දියණියගේ නිවසට පැමිණ සිටි බවත් ඔහු පැවසීය. එහිදී තමන්ගේ මාමා කෙනෙකු විසින් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට මහගෙදර කුලියට දුන් බව මව තමන්ට පැවසූ බව සාක්ෂිකරු සඳහන් කළේය. නිවස කුලියට ගත් අයගේ හැඳුනුම්පත් විස්තර පොලිසියට ලබා දුන්නේදැයි මවගෙන් විමසූ විට ඇය එය සිදුකර නොමැති බව පැවසීම නිසා, පසුදිනම ඔවුන් හමුවීමට මහගෙදරට ගියද නිවස වසා දමා තිබීම හේතුවෙන් ආපසු හැරී ඒමට සිදු වූ බව ඔහු හෙළි කළේය.




පසුව 2019 අප්‍රේල් 21 වනදා දිවයිනේ ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, එදින සවස් කාලයේ තමා නැවත වරක් මහගෙදර වෙත ගිය බව සාක්ෂිකරු පැවසීය. එහිදී දොරට තට්ටු කළ විට තරුණයෙකු පිටතට පැමිණි අතර, තමා කවුදැයි හඳුන්වා දී පැමිණි කාරණය පැහැදිලි කළ අවස්ථාවේදී නිවස තුළ තවත් වයස්ගත පුද්ගලයෙකු සිටිනු තමන් දුටු බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය. ඔවුන්ගේ හැඳුනුම්පත් පසුව ලබාදෙන බවට එම තරුණයා පොරොන්දු වූ බවද හෙළි විය. කෙසේ වෙතත්, ප්‍රහාරය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා තමන්ට රැකියාවට යාමට නොහැකි වූ අතර, සඳුදා දිනයේ නැවත හැඳුනුම්පත් ඉල්ලා ගැනීමට මහගෙදරට ගියද එහි සිටි පිරිස නිවස හැර ගොස් ඇති බව අසල්වැසියන්ගෙන් දැනගන්නට ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළේය.

නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ සචිත්ත බණ්ඩාර මහතා, නිවසේ සිටි වයස්ගත පුද්ගලයා නැවත දුටුවහොත් හඳුනාගත හැකිදැයි විමසූ විට සාක්ෂිකරු කියා සිටියේ ඔහුගේ රුව තමන්ට හොඳින් මතක ඇති බවයි. එම තැනැත්තා අධිකරණ ශාලාවේ සිටීදැයි විත්තිකරුවන් දෙස බලා නම් කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටි අතර, සභාපති විනිසුරුවරයා අවශ්‍ය නම් විත්තිකරුවන් සමීපයට ගොස් හඳුනා ගැනීමට අවසර දුන්නද, සාක්ෂිකරුගේ බිය නිසා සාක්ෂි කූඩුවේ සිටම හඳුනා ගැනීමට නියම විය. ඒ අනුව අධිකරණ ශාලාවේ පේළි කිහිපයක අසුන්ගෙන සිටි විත්තිකරුවන් 26 දෙනාට එක් එක් පේළිය බැගින් නැගී සිටින ලෙස නියෝග කෙරුණු අතර, එහිදී පාස්කු ප්‍රහාරයෙන් පසු නින්දවූර් නිවසේ සැඟව සිටි පුද්ගලයා ලෙස දෙවැනි විත්තිකාර මොහොමඩ් සයිදු ආදම් ලෙබ්බේ හෙවත් ‘ගපුර් මාමා’ නැමැත්තා සාක්ෂිකරු විසින් නිවැරදිව හඳුනා ගන්නා ලදී.



දෙවැනි චූදිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්නල් මද්දුමගේ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසූ අතර, ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තමන්ට සාක්ෂි දීම සඳහා කැඳවීම් ලැබුණේ පෙරදින බවයි. දීර්ඝ ගමනක් පැමිණීම නිසා ශාරීරිකව වෙහෙසට පත්ව සිටියද, එය තමන්ගේ මතකයට කිසිදු බලපෑමක් නොකරන බවත්, විත්තියේ නීතිඥවරයා තමන් නිවසට ගිය දිනයන් පටලැවීමට උත්සාහ කරන බවත් සාක්ෂිකරු මෙහිදී අවධාරණය කළේය. මෙම සාක්ෂි විභාගයෙන් අනතුරුව සාක්ෂිකරුගේ මව, නංගී සහ මාමාද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ.

දිනපතා විභාගයට ගැනෙන මෙම නඩු විභාගයේදී නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි සහ අධිනීතිඥ අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවති. විත්තිය වෙනුවෙන් නීතිඥ කනීල් ප්‍රනාන්දු ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටින අතර, විත්තිකරුවන් බහුතරයක් කිසිදු නීතිඥ සහායකින් තොරව තමන් වෙනුවෙන්ම පෙනී සිටිති.