the-21-year-old-maulavi-who-seriously-abused-a-14-year-old-girl-was-arrested

දහහතර හැවිරිදි දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන අදාළ මවුලවිවරයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, පසුව ඔහු මැයි මස 20 වැනි දින නීතිඥවරයෙකු මාර්ගයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ.




ඒ අනුව අදාළ සැකකාර මවුලවිවරයා 2026 ජූනි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත. මෙම සිදුවීම සඳහා ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් බව කියන එරගම ප්‍රදේශයේම පදිංචි තවත් 21 හැවිරිදි තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුව පසුගිය මැයි මස 09 වැනිදා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එම දෙවන සැකකරුව මුලින් මැයි 20 වැනිදා දක්වාත්, ඉන් අනතුරුව ජූනි මස 03 වැනිදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය. අදාළ අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් එරගම පොලිසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.