ලෝකයේ ශරීර සුවතාව පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් වන සංචාරකයන්ගේ ප්‍රමුඛතම ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ප්‍රකට බ්ලූම්බර්ග් සංචාරක වෙබ් අඩවිය අනාවරණය කරයි. සෞඛ්‍ය සහ ශරීර සුවතාව අරමුණු කරගනිමින් සංචාරය කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් තෝරාගන්නා ලොව හොඳම රටවල් දහය අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
විශේෂයෙන්ම ගතවූ වසරක කාලය තුළදී ශරීර සුවතා සංචාරයන් සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි විදේශීය සංචාරකයන් දක්වන උනන්දුව සියයට සියයකින් වර්ධනය වී ඇති බව ද එම වාර්තාවන්හි පෙන්වා දී ඇත.ලෝක ව්‍යාප්ත සංචාරක වෙළෙඳපොළ තුළ ශරීර සුවතාව මුල් කරගත් සංචාරක ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඉදිරි වසර වන විට මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් සංචාරකයන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක දැවැන්ත මුදලක් වැය කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙම ගෝලීය ප්‍රවණතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතා ඉහළ ආර්ථික අවස්ථාවක් උදාවන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අවධාරණය කරයි. වසර දෙදහසකට වඩා පැරණි සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ දින හතක ශරීර සුවතා නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරකයෙකුට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 372.18 වැනි ඉතා අවම මුදලක් වීම මෙරටට ඇති ප්‍රධානතම වාසියකි.
මීට අමතරව, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා පසුගිය මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලෝකයේ රටවල් 40 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබුණි. මෙම සහනදායී පියවර හේතුවෙන් විදේශීය සංචාරක පවුලකට ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙරම ඇමෙරිකානු ඩොලර් 200 කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙන බව ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සිය වාර්තාව මඟින් පෙන්වා දෙයි.
බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ මෙම නවතම වර්ගීකරණයට අනුව ශරීර සුවතා සංචාර සඳහා වඩාත්ම කැමැත්තක් දක්වන රටවල් අතර දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවටත්, තෙවැනි ස්ථානය මොරොක්කෝවටත් හිමිව ඇත. ආසියානු කලාපීය රටවල් වන නේපාලය සහ තායිලන්තය පිළිවෙළින් හයවැනි සහ හත්වැනි ස්ථාන දිනාගෙන ඇති අතර, මෙම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය හිමිව ඇත්තේ කැල්ගරි වෙතයි.