shashi-weerawansas-two-year-hard-labor-sentence-is-upheld

අවිධිමත් ආකාරයෙන් සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් තමන්ට පනවන ලද වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමට සහ රුපියල් ලක්ෂයක දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මීට පෙර ලබා දී තිබූ දඬුවම තවදුරටත් ස්ථීර කරන බව සඳහන් කළේය.

මෙම දඩුවම ක්‍රියාත්මකවීම ගැන තීන්දුව ලබන ජූලි මාසයේ ලබාදෙනු ඇත.




හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති හෙවත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම වසර දෙකක බරපතළ සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩය (දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් සහිතව) මුලින්ම පනවන ලද්දේ ඉකුත් 2022 වසරේ මැයි මස 27 වැනිදා එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසිනි. ව්‍යාජ ලේඛන සහ වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇතුළු ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත උල්ලංඡනය කිරීමේ චෝදනාව මත ඇය එහිදී වරදකාරිය බවට පත් වී තිබුණි. එම දණ්ඩනයෙන් තමන්ව සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම අභියාචනා පෙත්සම යොමු කර තිබුණි.

යහපාලන රජය සමයේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් ආරම්භ කරන ලද විමර්ශනවලට අනුව ඇයගේ සාමාන්‍ය ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය 1967 ලෙස සඳහන්ව තිබියදී, රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු සපයමින් උපන් වර්ෂය 1971 ලෙස දක්වා ඇති බව හෙළි විය. 2022 වසරේදී මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම වූ වහාම ඇය බන්ධනාගාරගත කෙරුණද, පසුව දැඩි කොන්දේසි සහිත රුපියල් 500,000ක පුද්ගල ඇප සහ රුපියල් 15,000ක මුදල් ඇප මත ඇයට ඇප හිමි වූ බැවින් ඇය වහාම සම්පූර්ණ සිරදඬුවම් කාලය විඳීමට ලක් නොවීය.




දශකයකට අධික කාලයක් තිස්සේ විභාග වෙමින් පවතින මෙම ගමන් බලපත්‍ර වංචා සිද්ධියට අදාළව මෑතකදී ද සාක්ෂි විභාගයන් සිදු වූ අතර පසුගිය මැයි මස 25 වැනිදා මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී දැනට ඇප මත සිටින විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටි අතර, සාක්ෂි මෙහෙයවීමට ප්‍රථම සාක්ෂි ආඥා පනත යටතේ අදාළ ලේඛනගත පරිගණක දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට අවස්ථාව දෙන ලෙස විත්ති පාර්ශ්වය කළ ඉල්ලීමක් පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව එළඹෙන ජූලි මස 24 වැනිදාට නැවත කැඳවීමට නියම විය. දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ මෙම සිදුවීමේ අභියාචනා තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ, මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට මහාධිකරණය මේ වන විට තීරණය කර ඇත.