an-international-red-warrant-against-basil-rajapaksa

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර අදාළ පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය වෙත මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ ඊයේ (10) දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.




පසුගිය 2014 වර්ෂයේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙත වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක්, එහි නියමිත ප්‍රවර්ධන කටයුතු සඳහා යෙදවීම වෙනුවට ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ටී-ෂර්ට් 12,000 ක් මිලදී ගැනීමට වැය කර ඇති බව පැවසෙයි. රජයට මූල්‍ය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් වන මෙම සිදුවීම මුල් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

නඩු විභාගය අතරතුරදී පළමු සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත නොතීසියක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ මුල් අවස්ථාවේදීම මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බැවින් නැවත නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ වෙනුවට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර කටයුතු කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය.




මේ අතර, මෙම මූල්‍ය වංචා සිද්ධියටම සම්බන්ධව අධිකරණය මඟින් මීට පෙර වරෙන්තු නිකුත් කර සිටි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වන රෑමි ජවුෆර් නැමැත්තා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය. එසේම, සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින එම කාර්යාංශයේ හිටපු සභාපති බාස්වර් ගුණවර්ධන නැමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය පියවර ගත්තේය.