පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවෙමින් පවතින තීරණාත්මක විමර්ශන කටයුතු කිසිදු දේශපාලන මැදිහත්වීමකින් හෝ වෙනත් කිසිදු හේතුවක් මත අඩාල නොකළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව තරයේ අවධාරණය කර සිටියි. කොළඹ අගරදගුරු මැදුරේදී ඊයේ (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් මෙම දැඩි ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිරිල් ගාමිණි පියතුමන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ද සිදු කළේය. එම අපහාස නඩුව විභාගයට ගත් පළමු දිනයේදී අධිකරණ පරිශ්‍රය තුළදීම සුරේෂ් සලේ මහතා තමන්ව පෞද්ගලිකව මුණගැසී අදාළ ප්‍රකාශයෙන් ඔහුගේ නම ඉවත් කරගන්නා ලෙසත්, නඩුව සමථයකට පත් කරගන්නා ලෙසත් ඉල්ලීමක් කළ බව උන්වහන්සේ හෙළිදරව් කළහ. එහෙත් තමන් සිදුකළ ප්‍රකාශය නිවැරදි බැවින් එය ඉවත් කරගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව පවසමින් එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර නඩුව ඉදිරියට කරගෙන යාමට තීරණය කළ බවද පියතුමන් වැඩිදුරටත් කියා සිටියේය.
සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම පිටුපස තම වන්දි නඩුව කඩාකප්පල් කිරීමේ අරමුණක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන රාවයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ගාමිණි පියතුමන් මෙහිදී පැහැදිලි කළේය. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හුදෙක්ම සාක්ෂි මත පදනම්ව බවත්, අත්අඩංගුවට ගැනීම සහ වන්දි නඩුව යනු එකිනෙකට වෙනස් කරුණු දෙකක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. එසේම පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයවූ සැබෑ දේශපාලන කුමන්ත්‍රණය හෙළිදරව් කරගැනීම වින්දිතයන් සතු අයිතියක් බැවින් ඒ සඳහා කිසිදු දේශපාලඥයෙකු ඇඟිලි නොගැසිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
මේ අතර සුරේෂ් සලේ මහතාගේ සොහොයුරු වන සෙල්වින් සලේ මහතාද අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. සැබෑ කුමන්ත්‍රණකරුවන් නීතියේ රැහැනට කොටු කරගත යුතු බවට තමන්ද එකඟ වන නමුත්, යම් සිදුවීමක සැකකරුවෙකුට වධහිංසා පැමිණවීම අපරාධයක් බව ඔහු පවසා ඇත. මීට සමගාමීව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සරදම් සහගත සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, බලයේ සිටින කාලයේදීම බන්ධනාගාර නිසි පරිදි සකස් කරගන්නා ලෙසත්, මන්ද යත් අවසානයේදී බලයේ සිටින්නන්ටද එවැනි ස්ථානවලම ලැගුම් ගැනීමට සිදුවන බැවින් බවත්ය.
