පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග යටතේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
ඔහු අත්අඩංගුවේ පසුවන කාලය තුළ ආහාර සහ ජලය ලබාගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරත වීම හේතුවෙන් පසුගිය 07 වැනිදා රාත්‍රී 8.15 ට පමණ මෙලෙස රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ සලේ මහතා තවදුරටත් ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් වෛද්‍යවරුන් විසින් ඔහුට සේලයින් මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවයි. සිය උපවාසය අත්හැර ආහාර ගන්නා ලෙස ඔහුගේ බිරිඳ, දරුවා මෙන්ම නීතිඥවරයින්ද කොතරම් ඉල්ලීම් කළද ඔහු එම සියලු ඉල්ලීම් බැහැර කර ඇති බවද වාර්තා වේ.
මේ අතරතුර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ (08) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇත. එහිදී අදාළ නිලධාරීන් විසින් රෝහල්ගතව සිටින සුරේෂ් සලේ මහතාගෙන් සිද්ධියට අදාළව විශේෂ ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.
