
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි විවිධ ආබාධ සහිත පුද්ගලයන් රඳවා සිටි "සෙනෙහසේ කැදැල්ල" රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ 14 දෙනාගෙන් 09 දෙනෙකුගේම සිරුරු භාර ගැනීමට මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැති බව අනාවරණය වී තිබේ. හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඉදිරියේ ඊයේ (11) මෙම කරුණු හෙළිදරව් වූ අතර, අනෙක් මියගිය පුද්ගලයන් පස්දෙනාගේ දේහයන් භාරගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් වී ඇති බව අධිකරණයේදී ප්‍රකාශ විය.
මෙම රැඳවුම් නිවාසය නිසි ආරක්ෂිත ක්‍රමවේදවලින් තොරව අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි 38 හැවිරිදි සැකකරුවෙකු වන ඉසුරු අනුෂ්ක නමැත්තා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය. ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ "ලොකු අයියා" යන නමින් පෙනී සිටින මෙම සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වූ අතර, ඔහුට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද පැනවිණි. මෙම නඩු විභාගය සඳහා සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ Skype තාක්ෂණය ඔස්සේය.
ගින්න හටගත් අවස්ථාවේදී අදාළ රැඳවුම් මධ්‍යස්ථානයේ දොරවල් සහ ජනේල ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන් එහි සිටි පිරිස් බේරාගැනීමට දැඩි දුෂ්කරතාවක් මතු වූ බව අඟුරුවාතොට පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඊට අමතරව, සිදු වූ මෙම මහා විපත පිළිබඳව පොලිසිය හෝ ගිනි නිවන ඒකකය වෙත දැනුම් දීමට සැකකරු කිසිදු පියවරක් ගෙන නොමැති අතර, ඔහු එම අවස්ථාවේදී ගින්න වීඩියෝ කර තමන්ගේ ටික්ටොක් ගිණුමට මුදාහැරීමට කටයුතු කර ඇති බව ද පොලිසිය විසින් මෙහිදී හෙළිදරව් කරන ලදී.
මෙම අවාසනාවන්ත ගිනි අනතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එහි සිටි රැඳවියන් 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු විවිධ සමාජ සේවා සංවිධානවල නිල ලිපි ශීර්ෂ යටතේ මෙම ආයතනය වෙත රැඳවියන් ඇතුළත් කර ඇති බව ද අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණය විය.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන අතර, අදාළ නඩුව ලබන ජූනි මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
