new-zealands-highest-royal-title-for-sri-lankan-specialist-dr-udayangani

නවසීලන්තයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරියක වන ආචාර්ය උදයංගනී සමරක්කොඩි මහත්මිය එරට ඉහළම රාජකීය පදවියකින් පිදුම් ලැබීමට සුදුසුකම් ලබා තිබේ. පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ බ්‍රිතාන්‍ය රජුගේ උපන් දින උපහාර ලැයිස්තුවට (King's Birthday Honours List) ඇයගේ නම ඇතුළත් කර ඇත.

නවසීලන්ත වැසියන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් අසමසම මෙහෙවරක් ඉටු කරමින් මෙවර මෙම උපහාර ලැයිස්තුවට තේරී පත්වූ සුවිශේෂී පුද්ගලයන් 178 දෙනා අතරට ශ්‍රී ලාංකික නාමය රැගෙන යාමට ඇය සමත්ව සිටී.




ළමා ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට ඉටු කරන ලද අනුපමේය සේවය මෙන්ම නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් දැක්වූ කැපවීම අගයමින් ඇයට මෙම 'නවසීලන්ත සාමාජික අභිෂේකය' (MNZM) නමැති ගෞරවනීය ඉහළම රාජකීය පදවිය පිරිනැමීමට නියමිතය. ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් සමගින් එකම වේදිකාවකදී මෙලෙස ඇගයීමට ලක්වීම තුළින් ඇය සමස්ත ශ්‍රී ලංකාවටම මහත් කීර්තියක් අත්කර දී තිබේ.

මෙම නිල රාජකීය පදවි ප්‍රදානෝත්සවය මේ වසරේ අග භාගයේදී නවසීලන්තයේ රාජ්‍ය මන්දිරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම උපහාරලාභීන්ගේ අසමසම සේවය, කැපවීම සහ දායකත්වය නවසීලන්තය වඩාත් ශක්තිමත්, සුරක්ෂිත මෙන්ම යහපත් රටක් බවට පත් කිරීමට බෙහෙවින් ඉවහල් වූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් (Christopher Luxon) මහතා ප්‍රකාශ කර තිබේ.




ආචාර්ය උදයංගනී සමරක්කොඩි මහත්මිය නවසීලන්තයේ වයිකාටෝ රෝහලේ ළමා ශල්‍ය වෛද්‍යවරියක මෙන්ම ළමා මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස වසර 30 කට ආසන්න දීර්ඝ කාලයක් තිස්සේ සේවය කරමින් සිටින්නීය. සිය වෘත්තීය ජීවිතය තුළ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශල්‍ය වෛද්‍යවරුන් 50 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීමටද ඇය පියවර ගෙන ඇත. එසේම 2021 වසරේදී නවසීලන්තයේ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් ඇය, දැනට එම සංගමයේ සම සභාපතිනිය ලෙසද කටයුතු කරයි.

new-zealands-highest-royal-title-for-sri-lankan-specialist-dr-udayangani

new-zealands-highest-royal-title-for-sri-lankan-specialist-dr-udayangani