ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පැවැති තරගයක් අතරතුරදී දකුණු කොරියානු ජාතික කාන්තාවකට අපහාස වන අයුරින් වර්ගවාදී ඉරියව්වක් ප්‍රදර්ශනය කළ මෙක්සිකානු ජාතිකයෙකු, එම සිදුවීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමෙන් පසු ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ. මෙක්සිකෝවේ ග්වාඩලජාරා ක්‍රීඩාංගණයේදී දකුණු කොරියාව සහ චෙක් ජනරජය අතර පැවැති තරගය අතරතුරදී මෙම පුද්ගලයා සිය දෑස් කොන්වලින් ඇද නැඟෙනහිර ආසියානුවන්ට අපහාස වන අයුරින් හැසිරී පසුව එය සිනහවකින් බැහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟ මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හටගෙන ඇත.
මෙම අපහාසාත්මක හැසිරීමට මුහුණ දී ඇත්තේ මිලියන සංඛ්‍යාත රසික පිරිසක් සිටින, අන්තර්ජාලය තුළ 'ඉනෝ කැට්' (Ino Cat) ලෙසද හැඳින්වෙන යූන් සු-ජින් නමැති දකුණු කොරියානු සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියකි. යූටියුබ් වෙබ් අඩවියේ මිලියන 6.6 ක සහ ටික්ටොක් හි මිලියන 2 කට අධික අනුගාමිකයන් පිරිසක් සිටින ඇය, පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති තරගය නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම අත්දැකීමට මුහුණ දී ඇත. ඇය විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරන ලද වීඩියෝ දර්ශනයක ඇයට පිටුපසින් අසුන්ගෙන සිටි උලිසෙස් ප්‍රනාන්දු බර්නාල් මිරමොන්ටෙස් නමැති මෙක්සිකානු ජාතිකයා එම වර්ගවාදී ඉරියව්ව පාන අයුරු පැහැදිලිව සටහන්ව තිබූ අතර, ලෝක කුසලානය නැරඹීමට පැමිණ මෙවැනි ජාතිවාදී අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම පිළිබඳව ඇය එහි සටහනක් තබා තිබුණි.
අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ අතර, එයට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වීම් හැටපන්දහසකට අධික ප්‍රමාණයක් ලැබී තිබූ අතර එක්ලක්ෂ විසිදහසකට වඩා වැඩි වාර ගණනක් එය නැවත ෂෙයාර් කර තිබිණි. මේ පිළිබඳව දැඩි පිළිකුල පළ කළ බොහෝ පිරිස් ඔහුගේ හැසිරීම ඉතාමත් නින්දිත මෙන්ම කනගාටුදායක බව ප්‍රකාශ කර තිබුණි. මෙහිදී විශේෂත්වයක් වූයේ මෙක්සිකානු ජාතිකයන් විශාල පිරිසක්ද මෙම ක්‍රියාව හෙළා දකිමින් කොරියානු තරුණියගෙන් සමාව අයැද සිටීම වන අතර, මෙම පුද්ගලයා කිසිසේත්ම සමස්ත මෙක්සිකානු ජනතාව නියෝජනය නොකරන බවද ඔවුන් අවධාරණය කර තිබුණි.
මෙම දැඩි ජනතා විරෝධය සහ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අදාළ මෙක්සිකානු ජාතිකයාට සිය වෘත්තීය තනතුරද අහිමි වී ඇති බව වාර්තා වේ. නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත සමඟ අදහස් දැක්වූ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇති පරිදි, ඔහු දැරූ මෙක්සිකානු ඉංජිනේරු සංගමයක එනම්, ජාලිස්කෝ හි ජියෝමැටික්ස් සහ ටොපොග්‍රැෆික් සර්වේයින් ඉංජිනේරු විද්‍යාලයේ (CITGEJ) සභාපති ධුරයෙන් ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇත. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති මෙම තරගයෙන් දකුණු කොරියානු කණ්ඩායම තරගයේ මුල් භාගයේදී පසුපසින් සිට පසුව පෙරළිකාර ජයග්‍රහණයක් ලබමින් චෙක් ජනරජය 2-1 ක් ලෙස පරාජය කිරීමට සමත් වී තිබුණි.
සිදුවීමෙන් අනතුරුව ඉරිදා දිනයේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බර්නාල් පවසා ඇත්තේ තමන් කළ ක්‍රියාව පිළිබඳව අවංකවම කනගාටු වන බවයි. මෙම වීඩියෝව පුළුල් ලෙස සංසරණය වෙමින් විවිධ ප්‍රතිචාර මතු කර ඇති බැවින් ප්‍රසිද්ධියේ සමාව අයැදීම තමන්ගේ වගකීමක් බවත්, තමන් කළ වරද සාධාරණීකරණය කිරීමට හෝ විවිධ අර්ථකථන දීමට උත්සාහ නොකරන බවත් ඔහු පවසා ඇත. තමන් සිය පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය තුළ සැමවිටම අන් අයට ගෞරවයෙන් සැලකීමට උත්සාහ කර ඇති බවත්, ඉදිරියටත් සිය ක්‍රියාවන් තුළින් එම සාරධර්ම නිරූපණය වන පරිදි කටයුතු කරන බවත් ඔහු සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
