කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසල් භූමියේ පැවැති ඩෙංගු මර්ධන ශ්‍රමදාන කටයුත්තක් අතරතුර සිදුවූ බඹර ප්‍රහාරයකින් පාසල් දරුවන් හත් දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අද (19) දින සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ නව දෙනාම කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා තහවුරු කළේය.
පාසල් පරිශ්‍රය පිරිසිදු කරමින් සිටි අවස්ථාවේදී එහි තිබූ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් මෙලෙස හදිසියේම ඇවිස්සී එහි සිටි දරුවන්ට සහ දෙමාපියන්ට පහර දී ඇත. අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව කැඳවා තුවාලකරුවන් කඩිනමින් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
උද්ගත වූ මෙම අනතුරුදායක තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කොත්මලේ පොලිසියේ නිලධාරීන්, පාසලේ ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව වහාම පියවර ගෙන ඇත. ඔවුන් පාසල් භූමිය තුළ ගිනිමැලයක් දල්වා දුම් ගැසීම මඟින් ඇවිස්සුණු බඹරුන් පාලනය කිරීමට කටයුතු කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
