අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන සූදු සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර සඳහා ඉදිරි කාලයේදී බදු පැනවීමට රජයේ දැඩි අවධානයක් යොමුව ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම ක්ෂේත්‍රය නිසි පරිදි නියාමනයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ බදු පැනවීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.
සූදු ව්‍යාපාර නියාමනය කිරීම වෙනුවෙන් පසුගිය වසරේදී හඳුන්වා දුන් පනතට අනුකූලව, ඉදිරියේදී ඒ සඳහා වන විශේෂ නියාමන අධිකාරියක් පිහිටුවීමට රජය පියවර ගනු ඇත. එමඟින් අවශ්‍ය නීති සහ රෙගුලාසි විධිමත්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ. දැනට කිසිදු නියාමනයකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සිදුවන සූදු ක්‍රීඩා හේතුවෙන් රජයට අහිමි වී යන විශාල ආදායම් ප්‍රමාණය මෙහිදී හඳුනාගෙන ඇති අතර, නව බදු පැනවීම් මඟින් උපයා ගන්නා එම මුදල් රටේ සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීමට ද බලාපොරොත්තු වේ.
මෙම නව බදු ප්‍රතිපත්තියට සමගාමීව, ඉදිරි කාලයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පවතින වක්‍ර බදු ප්‍රමාණයන් අවම කිරීමට රජය සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
