in-the-bala-medicine-case-even-after-the-company-was-transferred-there-is-a-doubt-whether-the-deaths-occurred-due-to-the-use-of-the-medicine

බාල ඖෂධ ගෙන්වීමේ ආන්දෝලනාත්මක නඩුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගණකාධිකාරී සහ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර සිටියේ, අදාළ ඖෂධ සැපයීම 'අයිසොලෙස් බයෝ ෆාමා' සමාගමෙන් ඉවත් කර වෙනත් සමාගම් දෙකකට පැවරීමෙන් පසුවත් එම ඖෂධය භාවිතයෙන් රෝගීන් පස් දෙනෙකු මියගියේද යන්න මූල්‍ය හා පරිපාලන ලේඛන පරීක්ෂා කිරීමෙන් තොරව තහවුරු කළ නොහැකි බවයි. එමෙන්ම, අලුතින් ඖෂධ ගෙන්වූ 'සෙලජන් ලයිෆ් සයන්ස්' සහ 'ඉශෝ බයෝටෙක් ෆාමා' යන සමාගම් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල මේ වන විට ගෙවා අවසන්ද යන්න තමාට පැවසිය හැක්කේ ද අදාළ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.




මෙම නඩු විභාගය ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තියේ නීතිඥවරුන් වන හරේන්ද්‍ර බානගල සහ නුවන් ගුණවර්ධන යන මහත්වරුන් නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ, මෙම නඩු කටයුත්ත කුමන පදනමක් හෝ වුවමනාවක් මත ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව තමන්ට නිශ්චිත අවබෝධයක් නොමැති බවයි. තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය ආයතනයේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත්, තමන් විසින් සකස් කරන ලදැයි කියන මූල්‍ය ලේඛනවල ඇයගේ අත්සන පමණක් ඇති අතර එය අනුමත කිරීමේ හෝ පරීක්ෂා කිරීමේ වෙනත් කිසිදු ඉහළ නිලධාරියෙකුගේ අත්සනක් එහි සටහන්ව නොමැති බවත් ඇය පිළිගත්තාය.

නඩුවේ හරස් ප්‍රශ්න ඇසීමේදී ආයතනයේ ද්‍රවශීලතාව සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳවද දීර්ඝ ලෙස කරුණු විමසීමක් සිදුවිය. 2022 වර්ෂයේ මූල්‍ය වාර්තාවල වෙළෙඳ සහ වෙනත් ණයගැතිභාවය සෘණ අගයක් ගැනීම පිළිබඳව පැහැදිලි කළ සාක්ෂිකාරිය, එය වෙළෙඳ ණය ගැනීම්වල වෙනස්වීම් මත සිදුවූවක් බවත්, ඉන් ආයතනයට ලැබිය යුතු මුදල් වැඩිවන බවත් පෙන්වා දුන්නාය. 2022 වසර වන විට ඖෂධ සංස්ථාවට ද්‍රවශීලතාවක් නොතිබුණේය යන චෝදනාව ඇය ප්‍රතික්ෂේප කළ අතර, එම වසරට අදාළ මූල්‍ය තත්ත්වය රුපියල් බිලියන 10.324ක් වූ බව ද පිළිගත්තාය. එසේම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන් වගකියනු නොලබන බවත්, තම වගකීම සීමා වන්නේ මූල්‍ය අංශයට පමණක් බවත් ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.




මෙම නඩුව නීතිපතිවරයා විසින් පවරා ඇත්තේ 2022 සැප්තැම්බර් 2 සහ 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ ව්‍යාජ ලෙස සකසන ලද රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනොග්ලොබියුලින් යන ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදීම හරහා රුපියල් මිලියන 144කට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා 14ක් යටතේය. මෙම බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර එම ලැයිස්තුව පහත පරිදි වේ:

සුදත් ජානක ප්‍රනාන්දු (අයිසොලෙස් බයොටෙක් ෆාමා හිමිකරු)



කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල (හිටපු සෞඛ්‍ය අමාත්‍ය)

ජනක චන්ද්‍රගුප්ත (හිටපු සෞඛ්‍ය ලේකම්)

වෛද්‍ය විජිත් ගුණසේකර (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී)

වෛද්‍ය කපිල වික්‍රමනායක (ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ)

දේවශාන්ති සොලමන් (වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ)

මරක්කල මානගේ නිරාන් ධනංජය (වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී)

මහ මදාච්චි වසන්ත කුමාර (ඖෂධ සැපයුම් ඒකකයේ තොග පාලක නිලධාරී)

හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් (සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්)

බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් (ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරී)

රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක (ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම්)

අරඹෙගෙදර තුසිත සුදර්ශන (වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ)

නඩු විභාගයේ පස්වරු සැසිය සඳහා, ආණ්ඩුවේ සැකකටයුතු ලේඛන පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරී ඒකනායක මුදියන්සේලාගේ දිනේෂ් ඒකනායක කුඩංගමුව මහතා සාක්ෂි දීම පිණිස කැඳවා තිබූ අතර, නඩුවේ වැඩිදුර විභාගය සඳහා ඔහුව පසුදිනටද යළි කැඳවා තිබිණි.