ice-packs-on-kalutara-remand-prisoners-chicken-skewers

කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු වෙනුවෙන් රැගෙන ආ බත් පාර්සලයක තිබූ කුකුළු මස් ව්‍යංජනයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මෙම නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා පෙරේදා දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ සැකයට බඳුන් වී අත්අඩංගුවට පත්ව ඇත.




එහිදී අදාළ මස් ව්‍යංජනය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4800 ක් සොයා ගැනීමට හැකි වූ බව කළුතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරු කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හඳුනාගෙන ඇත.

මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැනට රිමාන්ඩ් භාරයේ පසුවන රැඳවියෙකු වෙත ලබා දීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බව අත්අඩංගුවට පත් සැකකරු ප්‍රකාශ කර ඇති බව බන්ධනාගාර නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.




කෙසේ වෙතත්, මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළදී අලෙවි කිරීමේ අරමුණින් රැඳවියා අතට පත් කිරීමට සැකකරු උත්සාහ කරන්නට ඇති බවට බන්ධනාගාර නිලධාරීන් සැක පහළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු මෙන්ම බන්ධනාගාරයේ පසුවන රැඳවියා පිළිබඳවද බන්ධනාගාර නිලධාරීන් විසින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.