හොරණ නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවකින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ තවත් ශාඛා සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනහමාරක (මිලියන 35ක) මුදලක් නාඳුනන පුද්ගලයෙකු විසින් කොල්ලකා පලා යාමේ සිදුවීමක් පසුගියදා වාර්තාවූ අතර මෙම හොරකම බැංකුව ඇතුලේම වැඩක් බවට දැන් කරුණු අනාවරණය වෙමින් පවතී.
පසුගිය 03 වැනිදා පස්වරු 2.45ත් 2.55ත් අතර කාලයේදී මෙම කොල්ලය සිදුව ඇත. බැංකුවේ සහකාර කළමනාකරුවෙකු විසින් රුපියල් පන්දහසේ නෝට්ටු වශයෙන් බැංකු ලාංඡනය සහිත ලා ක්‍රීම් පැහැති රෙදි මලු දෙකක බහා මෙම මුදල පිටුපස දොරටුවෙන් පිටත නතර කර තිබූ මෝටර් රථයක් වෙත රැගෙන යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ. මුදල් ප්‍රවාහනයට අදාළ ආරක්ෂක නිලධාරියා බැංකුව තුළ සටහන් පොතක අත්සන් තබමින් සිටි අවස්ථාවේදී, පා ගමනින් පැමිණි තනි පුද්ගලයෙකු එක්වරම ක්‍රියාත්මක වී මෙම මුදල් මලු දෙක උදුරාගෙන පලාගොස් ඇති බවට බැංකු පාර්ශ්වයෙන් පොලිසියට තොරතුරු ඉදිරිපත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරීන් විසින් බැංකු කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු ඔහු වහාම ක්‍රියාත්මක වී 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබේ. බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබාගන්නා ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණද, පිටුපස දොරටුවට හෝ ඒ අවට ප්‍රදේශයට සීසීටීවී ආවරණයක් නොමැති වීම මෙන්ම මුදල් රැගෙන පලායන පුද්ගලයෙකු පිළිබඳව අවට කිසිදු කැමරාවක සටහන්ව නොතිබීම හේතුවෙන්, මෙය බැංකුවේ අභ්‍යන්තර ඔත්තුවක් මත හෝ සේවකයින්ගේ සම්බන්ධතාවක් සහිතව සැලසුම් සහගතව සිදුකළ කොල්ලයක් බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කර තිබුණි.
මෙම මහා පරිමාණ මුදල් කොල්ලය පිළිබඳ විමර්ශන කටයුතු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත. ඒ අනුව මුදල් භාරව සිටි සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹට රැගෙන ගොස් ලැබුණ තොරතුරු අනුව ඔවුන් දෙන්නා මෙම වංචාව සිදුකර ඇති බවට හෙළිවීමෙන් පසු දෙන්නාවම මේ වනවිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
අදාළ එක් සැකකරුවෙකුගෙන් රුපියල් කෝටි එකයි ලක්ෂ හැත්තෑවක (මිලියන 17ක) මුදලක් ද සොයාගෙන ඇති අතර, ඊට අමතරව බැංකුවේ ගබඩා කාමරයක තිබී අනන්‍යතාව තහවුරු කළ නොහැකි තවත් රුපියල් ලක්ෂ 17ක මුදලක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. කොල්ලකන ලද මුදල් සහ ගබඩා කාමරයෙන් සොයාගත් මුදල් අතර යම් සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
