guard-shot-father-of-two-killed-while-picking-cashews

වනාතවිල්ලුව, කල්අඩිය ප්‍රදේශයේ පිහිටි වතුයායකට කජු එකතු කිරීම සඳහා අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට එහි මුරකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ සේරක්කුලිය කලපුවේ ධීවර රැකියාවක නිරතව සිටි 36 හැවිරිදි ප්‍රදීප් සුසන්ත නමැති අයෙකි.

හලාවත වැවිලි සමාගමට අයත්, වර්තමානයේ පෞද්ගලික බදුකරුවෙකු යටතේ පවතින අක්කර 25ක පමණ මෙම ඉඩමට තවත් පුද්ගලයන් දස දෙනෙකු සමඟ ඔහු කජු ඇහිලීම සඳහා ගොස් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කලපු රැකියාව කිරීමට නොහැකි වීම සහ මසුන් අසුවීම අඩුවීම නිසා පවුල නඩත්තු කිරීමට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දීම හේතුවෙන් මියගිය පුද්ගලයා ඇතුළු පිරිස මෙලෙස හොර රහසේ කජු එකතු කිරීමට පැමිණ ඇති බව වාර්තා වේ. මියගිය අයගේ බිරිඳ වන 32 හැවිරිදි අනුෂා කුමාරි මහත්මිය හඬා වැලපෙමින් ප්‍රකාශ කර සිටින්නේ තම ලොකු දියණිය සේරක්කුලිය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඇයට අවශ්‍ය පාසල් වියදම් පවා සපයා ගැනීමට නොහැකි පසුබිමක තම සැමියා මෙම තීරණය ගත් බවත්ය. කිසිදු වරදක් නොකළ තම සැමියා හොරෙකු නොවන බවත්, ඔහුට වෙඩි නොතබා පොලිසියට භාර දීමට වගකිවයුත්තන්ට හැකියාව තිබූ බවත් පවසන ඇය, මෙම සිදුවීමෙන් තමන් සහ දරුවන් දෙදෙනා අන්ත අසරණ වී ඇති බවද පවසන්නීය.

සිද්ධිය ඇසින් දුටු මියගිය අයගේ බාල සොහොයුරා වන 29 හැවිරිදි දිල්හාන් පෙරේරා පවසන පරිදි, ඔවුන් දස දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් අලුයම් කාලයේදී මෙම වත්තට ඇතුළු වී ඇත. එහිදී විදුලි පන්දම් දල්වාගෙන පැමිණි මුරකරුවන් පිරිසක් ඔවුන්ට නොදුවන ලෙස අණ කර ඇති අතර, වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ. පසුව එහි සිටි අයෙකු වතු පාලකයින් විසින් අල්ලාගෙන ඇති අතර, ඔහුව බේරා ගැනීමට මැදිහත් වූ තම සහෝදරයාවද මුරකරුවන් විසින් අල්ලාගෙන මුර කුටිය වෙත රැගෙන ගොස් ඇත. පසුව මේ පිළිබඳව වතු මුරකරුවෙකුගෙන් දුරකථනයෙන් විමසීමේදී ඔහු මුලින් එය ප්‍රතික්ෂේප කර පසුව සහෝදරයාට වෙඩි වැදී වත්ත ඇතුළත සිටින බව පවසා තිබේ. ඒ අනුව සිදුකළ සෙවීම්වලදී පසුදා පාන්දර වනවිට වත්තේ කැලෑවක් තුළ වැටී සිටි සහෝදරයාගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බව ඔහු පවසයි.




මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ වත්තේ මුරකරුවන් විසින් ඔහුව රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර, පසුව එම අපරාධය සැඟවීම සඳහා සිරුර කැබ් රථයකින් රැගෙන විත් කැලෑ රොදකට දමා ඇති බවයි. තමන් කිසිසේත්ම සොරකමේ නොපැමිණි බවත්, ජීවත් වීමට මඟක් නොමැති කමට කජු ඇහිලීමට පැමිණි තමන්ට මෙවැනි සාහසික අපරාධයක් සිදුකිරීම අසාධාරණ බවත් ඥාතීහු පවසති. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.