ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින 'ගම්පහ ඔස්මන්' ලෙස හැඳින්වෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශන පවත්වාගෙන යන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේය. මෙම නඩුකරය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙම කරුණු අනාවරණය කරන ලදී.සැකකරුගේ නිවස සහ ඒ අවට භූමිය සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂාවට ලක් කළ බව පැවසූ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, එහිදී වැදගත් ලේඛන කිහිපයක් සොයාගත් බව පෙන්වා දුන්නේය. ඒ අතර 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා වෙනුවෙන් නිකුත් කර තිබූ රතු නිවේදනයක්ද තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
එමෙන්ම ඝාතනයට ලක්වූ ගනේමුල්ල සංජීවගේ පැරණි මෙන්ම දැනට පවතින නඩු විස්තර, ඔහු ආශ්‍රය කළ සමීපතයන්ගේ තොරතුරු සහ දුරකථන අංක ඇතුළත් සවිස්තරාත්මක ලේඛනයක්ද එහි තිබී හමුවී ඇත. මෙයින් පැහැදිලි වන්නේ සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තා ගනේමුල්ල සංජීවගේ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව ඉතා සමීපව සහ අවදියෙන් පසුවී ඇති බවයි. මීට අමතරව එම නිවාස පරිශ්‍රයේ තිබී සොයාගන්නා ලද ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනිඅවියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සිදුවීමට අදාළ අනෙක් සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 30 ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අතර සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය අමතමින් කියා සිටියේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින තම සේවාදායකයා හමුවීමට තමන් ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඊට අවසර ලබා නොදුන් බවයි.
කෙසේ වෙතත් නීතිඥවරයා ඉදිරිපත් කළ එම චෝදනාව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම වෘත්තීයමය බාධා කිරීම් සම්බන්ධයෙන් විමසීම සඳහා ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව, මෙම පැමිණිල්ල නැවත වරක් ලබන 26 වනදා කැඳවීමට නියම කෙරුණි.
