
බණ්ඩාරවෙල පිහිටි සිය ශාඛාවක මෑතකදී වාර්තා වූ නියාමන අනුකූලතා ගැටලුවක් සම්බන්ධයෙන් බාරිස්ටා ශ්‍රී ලංකා (Barista Sri Lanka) ආයතනය නිල පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ජූනි 11 වන දිනැති නිල ප්‍රකාශයට අනුව, දිනපතා දිවයින පුරා පාරිභෝගිකයින් 18,000කට අධික පිරිසකට සේවා සපයන ප්‍රමුඛ පෙළේ ජාතික සන්නාමයක් ලෙස ආහාර සුරක්ෂිතතාව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ නීතිමය රීති පද්ධතීන්ට අනුකූල වීම තම ආයතනයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව කළමනාකාරීත්වය අවධාරණය කරයි.
අදාළ බණ්ඩාරවෙල ශාඛාවේ සිදුකළ පරීක්ෂාවකදී කෙටි ආයු කාලයක් සහිත නිෂ්පාදන කිහිපයක ලේබල් කිරීම් සහ දින සටහන් කිරීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව එම සමාගම පවසයි. එහිදී කුකීස් (cookies) හයක්, එක් මුදවපු කිරි පැකට්ටුවක්, කොච්චි සෝස් පැකට්ටුවක්, පෙස්ටෝ සෝස් පැකට්ටුවක් සහ සීනි පැකට් කිහිපයක කල් ඉකුත්වීමේ දින සහ ලේබල්වල පැහැදිලිභාවය පිළිබඳ නිරීක්ෂණ මතු වී තිබේ. මීට අමතරව, පාරිභෝගිකයින් රැගෙන යන (takeaway) පෙට්ටිවල අසුරා තනි තනිව අලෙවි කරනු ලබන කේක් කැබලිවල දින ලේබල් කිරීම සම්බන්ධයෙන් ද නිලධාරීන් විසින් කරුණු පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය අදාළ ශාඛාවේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙන් බැහැරවීමක් බව පිළිගන්නා බාරිස්ටා ආයතනය, එය කිසිසේත්ම සැහැල්ලුවෙන් නොසලකන බව ප්‍රකාශ කරයි. ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෑම ශාඛාවකම සේවකයින් විසින් දිනපතා නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කිරීම, නිෂ්පාදන සත්‍යාපනය සහ ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. සියලුම ශාඛාවල මෙහෙයවනු ලබන නිෂ්පාදන 400කට ආසන්න ප්‍රමාණයකට මෙම නීති අදාළ වුවද, මෙම අවස්ථාවේදී බණ්ඩාරවෙල ශාඛාවේදී එම ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව සමාගම පිළිගෙන තිබේ.
දිවයින පුරා විසිරී ඇති සිය 89කට අධික ශාඛා ජාලය තුළම එකම මට්ටමක ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වගකීම තමන් සතු බව පවසන සමාගම, මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සහ වැඩිදුර පැහැදිලි කිරීම් ලබාගැනීම සඳහා බණ්ඩාරවෙල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) නිලධාරීන් සමඟ සිය කළමනාකාරීත්ව සහ මෙහෙයුම් කණ්ඩායම් සෘජුවම සම්බන්ධ වී කටයුතු කරන බව සඳහන් කරයි. මෙම සිදුවීම ආයතනයේ අභ්‍යන්තර පද්ධති වඩාත් ශක්තිමත් කිරීමටත්, ශාඛා මට්ටමේ වගවීම සහ දෛනික පරීක්ෂාවන් දැඩි කිරීමටත් ලැබුණු වැදගත් අවස්ථාවක් කරගන්නා බව පවසන බාරිස්ටා ආයතනය, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16ක් පුරා පවතින සියලුම ශාඛාවල ඉහළම පාරිභෝගික විශ්වාසය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සැමවිටම කැපවන බව වැඩිදුරටත් දන්වා සිටියි.
