මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව ගොනු කර ඇති කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණය විසින් මීට පෙර ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත. කොළඹ මහාධිකරණය ලබා දුන් එම නියෝගය නීතියට පටහැනි බව පවසන යෝෂිත රාජපක්ෂ මහතා, තම ප්‍රතිශෝධන පෙත්සම හරහා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාළ නියෝගය සම්පූර්ණයෙන්ම බලරහිත කරන ලෙසයි.
අද දින අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස එය විභාගයට ගැනීමට තීරණය කර ඇති අතර, ඒ අනුව පෙත්සම් විභාගය ලබන ජුනි මස 16 වැනිදා යළි කැඳවන ලෙසට දින නියම කර ඇත. මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාව සඳහා පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටීම ද විශේෂත්වයකි.
