ඇමෙරිකානුවන් බහුතරයක් තම ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ. 2025 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව වැඩිහිටියන්ගෙන් සියයට 71ක්ම තම ආහාර වේලට වැඩිපුර ප්‍රෝටීන් එකතු කර ගැනීමට උත්සාහ කරන අතර, වෙළඳපොළෙහි ඇති විවිධ සූදානම් කළ ආහාර වර්ග පවා මේ වන විට ප්‍රෝටීන් බහුල ලෙස සකස් කර වෙළඳපොළට නිකුත් කර ඇත.
ප්‍රෝටීන් යනු ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටසක් වුවද, එය ඕනෑවට වඩා ලබා ගැනීම සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව පෝෂණවේදීන් පෙන්වා දෙති. විශේෂයෙන්ම ශරීර බර කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 සීමාව ඉක්මවා දිගින් දිගටම ලබා ගැනීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු රැසක් මතු විය හැකිය.බහුතරයක් දෙනා ප්‍රෝටීන් ලබා ගන්නේ මස් සහ අනෙකුත් සත්ව නිෂ්පාදන මගින් වන අතර, මෙය හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම දැඩි ලෙස ඉහළ නංවයි. දිනපතා රතු මස් ග්‍රෑම් 100ක් අමතරව ආහාරයට ගැනීමෙන් හෘද රෝග අවදානම සියයට 11කින් ඉහළ යන අතර, සකස් කළ මස් ග්‍රෑම් 50ක් එකතු කිරීමෙන් එම අවදානම සියයට 26කින් ඉහළ යයි. එසේම වැඩිපුර රතු මස් අනුභව කරන අයට දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව සියයට 40කින්ද, සකස් කළ මස් පරිභෝජනය කරන අයට එය සියයට 51කින්ද ඉහළ යන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. මීට ප්‍රධානතම හේතුව වන්නේ සත්ව මස්වල අඩංගු අහිතකර සංතෘප්ත මේදය මගින් රුධිරයේ ඇති එල්.ඩී.එල් (LDL) හෙවත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීම සහ ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව වැඩි කිරීමයි.
සත්ව නිෂ්පාදන සහ සකස් කළ මස් වර්ග අධික ලෙස පරිභෝජනය කිරීම පිළිකා අවදානම ඉහළ නැංවීමටද ඍජුවම බලපායි. මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව රතු මස් බහුලව ආහාරයට ගන්නා පුද්ගලයන්ට මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානම සියයට 30කින් ඉහළ යන අතර, සකස් කළ මස් පරිභෝජනය කරන්නන් අතර එම අවදානම සියයට 40ක් දක්වා ඉහළ යයි. මේ නිසා සත්ව ප්‍රෝටීන් වෙනුවට සෝයා, පරිප්පු, බෝංචි, ඇට වර්ග, මාළු සහ යෝගට් වැනි පැසවීමට ලක් කළ කිරි නිෂ්පාදන භාවිත කිරීම සෞඛ්‍යයට වඩාත් හිතකර වේ. එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ගවලට මුල් තැන දෙන පුද්ගලයන්ට පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව ඉතා අඩු බව වෛද්‍යවරු පවසති.
ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට පමණක් අවධානය යොමු කරන පුද්ගලයන් තම ආහාර වේලෙන් තන්තු (fiber) බහුල ආහාර ඉවත් කිරීම නිසා මලබද්ධය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලුවලට මුහුණ දෙති. ශරීරයේ බඩවැල්වල ක්‍රියාකාරිත්වය මෙන්ම එහි සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සඳහා තන්තු අත්‍යවශ්‍ය වන අතර, එමගින් බඩවැල් ආශ්‍රිත රෝග වළක්වයි. මේ නිසා සාමාන්‍ය ආහාර වේලක එළවළු, ප්‍රෝටීන් සහ ධාන්‍ය සම ප්‍රමාණයෙන් අඩංගු විය යුතු අතර, බර අඩු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් පිඟානෙන් අඩක්ම එළවළුවලින් පුරවා ඉතිරි කොටස් සඳහා ප්‍රෝටීන් සහ ධාන්‍ය එකතු කර ගත යුතුය.
බර අඩු කර ගැනීමට හෝ මාංශ පේශි වර්ධනය කර ගැනීමට අධික ප්‍රෝටීන් සහිත ආහාර වේලක් අනුභව කළද, ඊට සරිලන පරිදි ව්‍යායාම සිදු නොකරන්නේ නම් එමගින් ශරීරයේ බර තවත් වැඩි වේ. ප්‍රෝටීන්වලින් ලැබෙන අතිරික්ත කැලරි ප්‍රමාණය ශරීරය තුළ තැන්පත් වන්නේ මේදය ලෙසිනි. එළවළු කෝප්ප භාගයක කැලරි 25ක් පමණ අඩංගු වන විට, කුකුළු මස් කෝප්ප භාගයක කැලරි 140ක් පමණ අඩංගු වන බැවින් ප්‍රෝටීන් බහුල ආහාර හරහා ශරීරයට අනවශ්‍ය ලෙස අධික කැලරි ප්‍රමාණයක් එකතු වේ. මීට අමතරව නිදන්ගත වකුගඩු රෝගවලින් පෙළෙන පුද්ගලයන් අධික ලෙස ප්‍රෝටීන් පරිභෝජනය කිරීමෙන් වකුගඩුවලට දැඩි පීඩනයක් එල්ල වන අතර, සත්ව ප්‍රෝටීන් අධිකව ගැනීම වකුගඩු වල ගල් ඇතිවීමටද හේතු විය හැක.
(Sophie Egan - New York Times ලිපිය ඇසුරිනි)
